චීන ජනාධිපති ෂී ජින්පින් සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර බීජිං නුවරදී පැවැති තීරණාත්මක සමුළුවෙන් පසුව, දෙරට අතර කෘෂිකාර්මික වෙළෙඳාම පුළුල් කිරීම සඳහා රේගු බදු කපා හැරීමට (Tariff Reductions) සහ වෙළෙඳ බාධක ඉවත් කිරීමට චීනය සහ ඇමරිකාව මූලික එකඟතාවකට පැමිණ ඇති බව චීන වාණිජ අමාත්‍යාංශය සෙනසුරාදා (16) ප්‍රකාශ කළේය.
පසුගිය වසරේ (2025) දෙරට අතර ඇති වූ බදු යුද්ධය (Trade War) හේතුවෙන් ඇමරිකාවෙන් චීනයට සිදුකළ කෘෂිකාර්මික අපනයන 65.7% කින් දැවැන්ත ලෙස බිඳවැටී තිබුණි. මෙම නව එකඟතාවය යටතේ, චීනය විසින් ඇමරිකානු සෝයා බෝංචි (Soybeans) සඳහා පනවා ඇති 10% ක අතිරේක බද්ද කපා හැරීමට නියමිත බව වෙළෙඳපොළ විශ්ලේෂකයෝ අපේක්ෂා කරති. මීට අමතරව, පසුගිය වසරේ ලියාපදිංචිය කල් ඉකුත් වීම නිසා අත්හිටුවා තිබූ ඇමරිකානු හරක් මස් (Beef) නිෂ්පාදනාගාර 425 ක ලියාපදිංචිය තවත් වසර 5කට දීර්ඝ කිරීමටත්, අලුතින් තවත් ආයතන 77කට අවසර දීමටත් චීනය පියවර ගෙන ඇත.
ඇමරිකානු කෘෂිකර්ම ලේකම් බෘක් රොලින්ස් (Brooke Rollins) ප්‍රකාශ කළේ, ඇමරිකානු ප්‍රාන්ත 17කින් හරක් මස් ආනයනය නැවත ආරම්භ කිරීමට චීනය එකඟ වී ඇති බවයි. ඉදිරි වසර 3 තුළදී චීනය විසින් ඇමරිකාවෙන් ඩොලර් බිලියන දස ගණනක කෘෂිකාර්මික නිෂ්පාදන මිලදී ගනු ඇතැයි ඇමරිකානු වෙළෙඳ නියෝජිත ජේමියන් ග්‍රීර් (Jamieson Greer) ප්‍රකාශ කළද, මිලදී ගන්නා නිශ්චිත ප්‍රමාණයන් පිළිබඳ අවසන් එකඟතාවන් ඉදිරියේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.














