බෙලරුස් රාජ්‍යයේ නිල සංචාරයක නිරත විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිස ඊයේ (16) බෙලරුස් ජාතික මණ්ඩලයේ රිපබ්ලික් කවුන්සිලයේ සභාපතිනී නටාලියා කොචනෝවා (Natalya Kochanova) මහත්මිය හමුවී සාකච්ඡා පවත්වා තිබේ. මෙම රාජ්‍යතාන්ත්‍රික හමුවේදී දෙරට අතර පවතින පාර්ලිමේන්තු සබඳතා සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරුණි.විශේෂයෙන්ම ශ්‍රී ලංකාව සහ බෙලරුස් රාජ්‍යය අතර පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගම් පිහිටුවීම පදනම් කර ගනිමින්, දෙරටේ පාර්ලිමේන්තු සහයෝගීතාව පුළුල් කිරීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු වී ඇත. දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා ඉදිරියේදී තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා මෙවැනි ඉහළ පෙළේ හමුවීම් ඉතා වැදගත් සහ තීරණාත්මක පියවරක් වන බව ද මෙම සාකච්ඡාවේදී දෙපාර්ශ්වයම අවධාරණය කර සිටියහ.














