සියඹලාගහගම ප්‍රදේශයේ පිහිටි පුද්ගලික ඉඩමක රහසිගතව නිදන් හාරමින් සිටි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සේවකයන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් හත් දෙනෙකු (07) ගාලදිවුල්වැව පොලීසිය විසින් සාර්ථකව අත්අඩංගුවට ගෙන තිබේ.පොලිස් අත්අඩංගුවට පත් සැකකරුවන් රත්නපුර, රාජාංගණය, බුලත්සිංහල සහ සියඹලාගහගම යන විවිධ ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 25ත් 56ත් අතර වියේ පසුවන පුද්ගලයන් බව අනාවරණය වී ඇත. මින් දෙදෙනෙකු තඹුත්තේගම ප්‍රදේශයේ පිහිටි ජාතික ජල සම්පාදන මණ්ඩල කාර්යාලයට අනුයුක්තව සේවය කරන සේවකයන් බව පොලීසිය තහවුරු කරයි.ගාලදිවුල්වැව පොලීසියට ලද විශ්වාසවන්ත බුද්ධි තොරතුරකට අනුව මෙම විශේෂ වැටලීම සිදුකර ඇති අතර, සැකකරුවන් අදාළ පුද්ගලික ඉඩම තුළ නිදන් හෑරීමේ කටයුතුවල නිරත වෙමින් සිටියදීම මෙලෙස උපකරණ ද සමඟින් කොටු කර ගැනීමට හැකි වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ගාලදිවුල්වැව පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.














