ශ්‍රී ලංකාවට උතුරින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී තිබූ අඩු පීඩන කලාපය මේ වන විට සම්පූර්ණයෙන්ම දුර්වල වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අද (17) පස්වරු 3.00 ට නිකුත් කරන ලද මෙම විශේෂ නිවේදනයට අනුව, දිවයින වටා වන මුහුදු ප්‍රදේශවලට සහ ගැඹුරු මුහුදු කලාපයට මින් එල්ල වූ බලපෑම ක්‍රමයෙන් පහව යමින් පවතී.
නවතම දත්ත විශ්ලේෂණයන්ට අනුව මෙම කාලගුණ පද්ධතිය තවදුරටත් ක්‍රියාකාරී නොවන බැවින්, ධීවර සහ නාවික ප්‍රජාවට පනවා තිබූ අවදානම් තත්ත්වය පහව ගොස් ඇත. මෙම පීඩන අවපාතය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන අවසන් නිවේදනය මෙය වන අතර, මුහුදු ප්‍රදේශවල කාලගුණික තත්ත්වය ඉදිරියේදී සාමාන්‍ය අතට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














