භූ දේශපාලනික අස්ථාවරත්වය සහ ඉහළ යන බලශක්ති අවදානම් මධ්‍යයේ ඉන්දියාවේ ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳ විශාල උපායමාර්ගික කනස්සල්ලක් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රකාශවලින් පිළිබිඹු වන බව ඉන්දීය කොටක් මහින්ද්‍රා බැංකුවේ නිර්මාතෘ සහ ප්‍රකට බිලියනපති බැංකුකරුවෙකු වන උදය කොටක් මහතා පවසයි.
Confederation of Indian Industry (CII) වාර්ෂික සමුළුවේදී කර්මාන්ත නායකයින් අමතමින් කොටක් මහතා ප්‍රකාශ කළේ, අග්‍රාමාත්‍යවරයා මෑතකදී සිදුකළ වියදම් කප්පාදු සහ මධ්‍යස්ථ පරිභෝජනය පිළිබඳ ප්‍රකාශයන්ට තමන් පූර්ණ එකඟතාව පළ කරන බවයි. ඉන්දියාව දිගුකාලීන ගෝලීය අවිනිශ්චිතතාවයකට සූදානම් විය යුතු බවත්, ‘තමන්ගේ තරම ඉක්මවා’ (වත්කම්වලට වඩා) ජීවත් වීමෙන් වැළකී සිටිය යුතු බවත් ඔහු අවධාරණය කළේය.
මැදපෙරදිග (බටහිර ආසියාවේ) පවතින උග්‍ර අර්බුදය පෙනෙනවාට වඩා බොහෝ විශාල මෙන්ම සංකීර්ණ ගැටළුවක් බව පෙන්වා දුන් උදය කොටක් මහතා, ඉදිරියේදී පැමිණීමට නියමිත බාහිර ආර්ථික කම්පන පිළිබඳව මෙසේ අනතුරු ඇඟවීය:
“මැදපෙරදිග යුද්ධයේ පසුගිය මාස දෙක තුළ බලශක්ති මිල ඉහළ යාමේ සැබෑ බලපෑම අපි තවමත් දැක නැහැ. නමුත් එය ඉදිරියේදී විශාල ලෙස පැමිණෙමින් තිබෙනවා. සීමිත ආදායම් ලබන පාරිභෝගිකයින්ට විවිධ අංශ හරහා ඉන්ධන ආශ්‍රිත පිරිවැය ඉහළ යාමේ පීඩනය ඉක්මනින්ම දැනෙනු ඇති. ඒ නිසා ව්‍යාපාර සහ ප්‍රතිපත්ති සම්පාදකයින් කල්තියා ඊට සූදානම් විය යුතුයි. අපි නරකම දේ සඳහා සූදානම් විය යුතුයි.”
අනවශ්‍ය පරිභෝජනය අඩු කිරීම යනු රටේ ලාභ, අලාභ සහ ශේෂ පත්‍රය (Balance Sheet) ශක්තිමත් කරන ගැඹුරු අර්ථයක් සහිත පියවරක් බවත්, සැබවින්ම ස්වයංපෝෂිත (ආත්මනිර්භාර්) රටක් යනු වෙනත් පාර්ශවයක මුදල් හෝ බලය මත යැපෙන්නේ නැති රටක් බවත් ඔහු සඳහන් කළේය. එසේම, ඉන්දීය සමාගම් කෙටි කාලීන කොටස් වෙළෙඳපොළ ලාභ ලුහුබැඳීම පසෙකලා, දිගුකාලීන උපායමාර්ගික ආයෝජන සහ අනාගත තරඟකාරිත්වය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව ද කොටක් මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.














