ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට (CPC) අයත් ඉන්ධන ප්‍රවාහන බවුසර් රථයකින් වෙනත් පෞද්ගලික බවුසර් රථයකින් හොර රහසේ ඉන්ධන මාරු කරමින් සිටි සැකකරුවන් සිව්දෙනෙකු (4) හංවැල්ල, ජයවීරගොඩ ප්‍රදේශයේ වැලි සෝදන ස්ථානයකදී ඉකුත් 16 වැනිදා අත්අඩංගුවට ගත් බව හංවැල්ල පොලිසිය පවසයි. හංවැල්ල පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු රහසිගත තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇත.
පොලිස් නිලධාරීන් එම ස්ථානය වටලන අවස්ථාවේදී එහි සිටි පුද්ගලයන් 6 දෙනෙකුගෙන් දෙදෙනෙකු පලාගොස් ඇති අතර, ඉතිරි සිව්දෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ එක් ඉන්ධන බවුසර් රථයක රියදුරු සහ සහායකයා මෙන්ම එම වැලි සෝදන ස්ථානයේ සේවය කළ කම්කරුවන් දෙදෙනෙකි. මෙම ජාවාරම සම්බන්ධයෙන් ඛනිජ තෙල් සංස්ථාවේ කොලොන්නාව තොග ගබඩා පර්යන්තයේ විමර්ශන නිලධාරීන් විසින් සිදුකළ මූලික පරීක්ෂණවලදී බරපතළ තොරතුරු රැසක් අනාවරණය වී ඇත. සැකකරුවන් විසින් කොලොන්නාවෙන් රැගෙන ආ ඉන්ධන ලීටර් 1,500කට අධික ප්‍රමාණයක් වෙනත් බවුසරයකට මාරු කර, ඒ වෙනුවට භූමිතෙල් ලීටර් 1,500ක් කලවම් කර ඇති බව හෙළි වී තිබේ. ඉන් අනතුරුව ඊට විශේෂ රසායනික ද්‍රව්‍යයක් එකතු කර, එය ඩීසල් ආකාරයට පෙනෙන සේ ව්‍යාජ ලෙස සකස් කර ඉන්ධන පිරවුම්හල් වෙත ප්‍රවාහනය කිරීමට සැලසුම් කර තිබූ බව පොලිසිය පවසයි.
සිද්ධියෙන් පසු ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් පැමිණ නිසි රසායනික පරීක්ෂණයක් සිදුකරන තෙක් අදාළ බවුසර් රථ දෙකම (2) මුද්‍රා තබා (Seal) හංවැල්ල පොලිස් ස්ථාන පරිශ්‍රයේ රඳවා තබා ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ (17) අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. හංවැල්ල පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. එස්. රාජසිංහ මහතාගේ උපදෙස් මත පොලිසිය ඉදිරි විමර්ශන කටයුතු සිදුකරයි.
















