මහත් අභිමානයෙන් යුතුව 2014 වසරේදී ආරම්භ කරන ලද කොළඹ පාවෙන වෙළඳපොළ (Floating Market) ව්‍යාපෘතිය මේ වන විට දැඩි කඩා වැටීමකට ලක්ව ඇති බව හෙළි වී තිබේ. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මෙන්ම නාගරික සංවර්ධන අධිකාරියේ (UDA) උසස් නිලධාරීන් පිරිසක් ඉකුත් 15 වැනිදා සිදුකළ විශේෂ ක්ෂේත්‍ර පරීක්ෂාවකදී අනාවරණය වී ඇත්තේ එහි බදු දී ඇති සමස්ත වෙළඳසල් 92න් දැනට ක්‍රියාත්මක වන්නේ වෙළඳසල් 16ක් පමණක් බවයි.
නාගරික සංවර්ධන අධිකාරිය මඟින් වසර 5ක බදු ගිවිසුම් මත වෙළඳුන් වෙත පවරා තිබූ මෙම වෙළඳසැල් පද්ධතිය, නිසි නඩත්තුවක් නොමැතිකම හේතුවෙන් වර්තමානය වන විට දැඩි ලෙස අබලන් වී ඇත. ක්ෂේත්‍ර පරීක්ෂාවට එක්වූ නිලධාරීන් පෙන්වා දෙන්නේ වෙළඳ සංකීර්ණයේ ඇති ලී සහ ලෝහමය ව්‍යූහයන් බොහොමයක් මුළුමනින්ම දිරාපත් වී ඇති බැවින් එය මහජනතාවට දැඩි අනාරක්ෂිත ස්ථානයක් බවට පත්ව ඇති බවයි. විශේෂයෙන්ම බැස්ටියන් මාවත සහ ඩී.ආර්. විජේවර්ධන මාවත සම්බන්ධ කරන පදික මාර්ගයේ රේල් පීලි හා ලෝහ කොටස් මතුපිටට නිරාවරණය වී තිබීම නිසා, දෛනිකව පිටකොටුවට පැමිණෙන බස් සහ දුම්රිය මගීන් විශාල අනතුරක ලක්වීමේ අවදානමක් පවතී.
මීට අමතරව, වෙළඳ සංකීර්ණය පුරා පවතින විදුලි පද්ධතිය සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබීම හේතුවෙන් රාත්‍රී කාලයේදී පරිශ්‍රය දැඩි අඳුරක පවතින අතර, මෙම තත්ත්වය උපයෝගී කරගනිමින් විවිධ නීති විරෝධී ක්‍රියාකාරකම් සිදුවීමේ ප්‍රවණතාවක් පවතින බවට ද බලධාරීන් අනතුරු අඟවයි. මෙම විනාශකාරී බලපෑම පාවෙන වෙළඳපොළට පමණක් සීමා නොවී හෙක්ටයාර 65ක් පුරා පැතිරී ඇති සමස්ත බේරේ වැව ආශ්‍රිත කලාපයේම පාරිසරික හා මහජන සෞඛ්‍ය ගැටලුවක් දක්වා වර්ධනය වී ඇති බැවින්, මේ පිළිබඳව වගකිවයුතු රාජ්‍ය ආයතනවල කඩිනම් අවධානය යොමු වී ඇත.
















