දිවයිනේ පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (18) නිකුත් කළ නවතම කාලගුණ අනාවැකියේ සඳහන් කරයි.
විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලටත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් මෙලෙස වැසි ඇති විය හැකිය. ඒ අතරින් බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇතිවීමේ ප්‍රවණතාවක් පවතී. මීට අමතරව, අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකිය.
කාලගුණ වාර්තාවට අනුව මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර් 30 ත් 40 ත් අතර වේගයකින් හමන තරමක තද සුළං ඇති විය හැකිය. ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.














