දැනට දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) උසස් නියෝජිතයන් පිරිසක් ඊයේ (17) කොළඹදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබේ.
මෙම සාකච්ඡාව සඳහා අයි.සී.සී. උප සභාපති ඉම්රාන් ඛ්වාජා (Imran Khwaja) සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) ලේකම් දේවාජිත් සයිකියා (Devajit Saikia) යන මහත්වරුන් ඇතුළු නියෝජිත පිරිසක් එක්ව සිටියහ. මාධ්‍ය වාර්තාවලට අනුව, මෙම නිලධාරීන් මෙරටට පැමිණ ඇත්තේ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලන අධිකාරිය අධීක්ෂණය කිරීම සඳහා එරාන් වික්‍රමරත්න මහතාගේ සභාපතිත්වයෙන් පත් කරන ලද නවගුණයකින් යුත් අතුරු කමිටුව පිළිබඳව කරුණු සොයා බැලීම වෙනුවෙනි.
ක්‍රිකට් පාලක මණ්ඩලවල කටයුතු සඳහා රජයේ මැදිහත්වීම් සිදුනොවිය යුතු බවට වන අයි.සී.සී. දැඩි රීතීන් හමුවේ මෙම හමුව සිදුවී ඇති අතර, දිවයිනට පැමිණි අයි.සී.සී. නියෝජිතයන් අද (18) දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් නව අතුරු කමිටුවේ සාමාජිකයන් ද හමුවී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.














