අලුත්ගම පොලිස් වසමට අයත් පාදාගොඩ, යක්වත්ත ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාරික නිවසක කූඩුවක දමා ඇතිදැඩි කළ, රුපියල් ලක්ෂ හතක් පමණ වටිනා මැකෝ (Macaw) වර්ගයේ දුර්ලභ ගිරවෙකු ඊයේ (17) අලුයම් කාලයේදී සොරකම් කර ඇති බව අලුත්ගම පොලිසිය පවසයි.
අදාළ ව්‍යාපාරිකයාගේ නිවෙස් පරිශ්‍රයේ ඉදිකර තිබූ විශේෂ පක්ෂි කූඩුවක මැකෝ වර්ගයේ ගිරවුන් දෙදෙනෙකු සිට ඇති අතර, ඉන් එක් ගිරවෙකු පමණක් මෙලෙස සොරකමට ලක්ව තිබේ. ඊයේ අලුයම් කාලයේදී අදාළ නිවාස පරිශ්‍රයට හොර රහසේ ඇතුළු වූ තරුණයින් දෙදෙනෙකු විසින් පක්ෂි කූඩුව කඩා මෙම සොරකම සිදුකර ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත.
සැකකාර තරුණයින් දෙදෙනා ගිරවා සොරකම් කරගෙන පලායන ආකාරය එම නිවසේ සවිකර තිබූ ආරක්ෂක (CCTV) කැමරාවල ඉතා පැහැදිලිව පටිගත වී තිබේ. මෙම සී.සී.ටී.වී. දර්ශන උපයෝගී කරගනිමින් සැකකරුවන් කඩිනමින් හඳුනා ගැනීමටත්, සොරකම් කරන ලද වටිනා පක්ෂියා සොයා ගැනීමටත් අලුත්ගම පොලිසිය පුළුල් විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.














