ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය පිටුපස විශාල අභිරහසක් පවතින බවත්, එහි සෘජු ප්‍රතිලාභය හිමිවන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට බවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. මෙම සිදුවීම පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සමාන බව පෙන්වා දෙන ෆොන්සේකා මහතා, එදා පාස්කු ප්‍රහාරයේ දේශපාලන ප්‍රතිඵල සහ ප්‍රතිලාභ රාජපක්ෂවරුන් වෙත ගලා ගියා සේම, මෙම මරණය හරහා ද අදාළ මිලියන 60ක මුදල් ගනුදෙනු ප්‍රශ්නයට අමතරව විශාලම වාසිය නැවත වතාවක් මහින්ද රාජපක්ෂ මහතාට හිමිවන බව සඳහන් කළේය. මහින්ද රාජපක්ෂ මහතාගේ අතීත හැසිරීම්, ඔහුගේ චරිතය සහ මින් පෙර සිදුව ඇති දෑ දෙස බැලීමේදී, මෙම අභිරහස් මරණය ඔහුගේ අනුදැනුම ඇතිව සිදුවූයේද යන්න පිළිබඳව තමන්ට සාධාරණ සැකයක් පවතින බව ද ඔහු කියා සිටියේය.
යුද සමය පිළිබඳව ද අදහස් දක්වමින් සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ, එදා යුද පිටියේ කිසිදු ස්ථානයක මහින්ද රාජපක්ෂ මහතා සිටිනු තමන් දැක නොමැති බවත්, ඔහු අවම වශයෙන් කෝප්‍රල්වරයෙකු ලෙස වත් හමුදාවේ සේවය කර නොමැති බවත්ය. රටක් බේරා ගැනීමට නම් යුද ඇඳුම් ඇඟලාගෙන සැබෑ හමුදා නියෝජිතයෙකු ලෙස පෙරමුණට යා යුතු බවත්, කොළඹට වී කෑගැසීමෙන් රට බේරාගත නොහැකි බවත් පැවසූ ඒ මහතා, ජීවිත පූජාවෙන් සතුරාට මුහුණ දිය යුතු බව අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් දැඩි ප්‍රකාශයක් සිදුකළ ෆොන්සේකා මහතා කියා සිටියේ රාජපක්ෂලා යනු නිකන් පුම්බාගත්ත දූෂිත චරිත බවයි. තමන් යුද පිටියේ මහින්ද රාජපක්ෂ සිටිනවා එදා දැක නොමැති බවත්, රාජපක්ෂලා යනු අරක්කුවලින්, පගාවලින් සහ අල්ලස්වලින් පෝෂණය වූ පිරිසක් බවත් ඔහු පැවසීය. එමෙන්ම ඔවුන් මර්දනය කිරීම ඉතා සුළු වැඩක් බවත්, නිසි තනතුර සහ බලය තමන්ට ලැබුණහොත් රාජපක්ෂ පවුලට මේ රටේ ඉන්න ලැබෙන්නේ නැති බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
















