වත්මන් සමාජය තුළ බුද්ධ ශාසනයට සහ ආගම දහමට විවිධ පැතිකඩවලින් දැඩි අභියෝග එල්ල වෙමින් පවතින මේ මොහොතේ, ඊට එරෙහිව නිවටයන් වී බලා සිටිනවාද නැතහොත් ශක්තිමත්ව ඊට මුහුණ දෙනවාද යන්න සමස්ත ජනතාව විසින්ම තීරණය කළ යුතු කාලය එළඹ ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සම්බුද්ධ ශාසනයට උත්තරීතරම සහ ඉහළම ස්ථාවරයක් ලබා දී ඇති බව සිහිපත් කළ විපක්ෂ නායකවරයා, එම ව්‍යවස්ථාපිත අයිතිය හුදෙක් ලේඛනවලට සහ වචනවලට පමණක් සීමා නොකර මහපොළොවේ සැබෑ යථාර්ථයක් බවට පත් කිරීම රටේ සමස්ත පුරවැසියන්ගේම මූලික වගකීමක් බව ද අවධාරණය කළේය.
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වුණු විශේෂ ආගමික උත්සවයක් අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේය. මෙම උත්සවය සංවිධානය කර තිබුණේ උඩරට අමරපුර මහා නිකායේ මහා නායක පදවියෙන් පිදුම් ලැබූ පූජ්‍ය නිකපොත චන්ද්‍රජෝති නාහිමියන් නිල වශයෙන් පිළිගැනීම වෙනුවෙනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ සාසනයේ චිරස්ථිතිය උදෙසා සංඝරත්නය ඉටුකරන මෙහෙවර සුරැකීමට දේශපාලන නායකත්වයන් ද නොපැකිළිව පෙරට ආ යුතු බවයි.
















