ගම්පොළ, නාරංවිට, පිහිල්ලදෙණිය අටුවාවත්ත ප්‍රදේශයේදී පියා සමඟ කඩා වැටුණු සිවිලිම් ලෑල්ලකට යටවීමෙන් වයස අවුරුදු දෙකහමාරක කුඩා පිරිමි දරුවෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වීමේ ශෝකජනක පුවතක් වාර්තා වේ.
තම නිවසට ඉහළින් පිහිටි මහගෙදර වෙත පැමිණි 31 හැවිරිදි සාජීත් නැමැති පියා, එහි තිබූ වතුර බටයක් ගැනීම සඳහා ඉණිමඟක් ආධාරයෙන් වහලයේ සිවිලිම මතට නැඟ තිබේ. එහිදී සිවිලිම එකවරම කඩාගෙන ගොස් පියා බිමට වැටී ඇති අතර, අසල සිටි පිරිස වහා ක්‍රියාත්මක වී ඔහුව එසවීමට උත්සාහ කිරීමේදී සිවිලිම් ලෑල්ලට යටවී සිටි කුඩා දරුවාව දැක ඇත. පියා මහගෙදර වෙත එන අවස්ථාවේදී වයස අවුරුදු දෙකහමාරක් වූ ආයාද් නැමැති මෙම දරුවා ද පියාට නොදැනෙන සේ ඔහු පිටුපසින්ම පැමිණ ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
දැඩි ලෙස තුවාල ලබා සිටි කුඩා දරුවාව වහාම ගම්පොළ මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්ත ද, ඒ වන විටත් දරුවා ජීවිතක්ෂයට පත්ව සිට ඇත. අනතුරින් සුළු තුවාල ලැබූ පියා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබා මේ වන විට නිවස වෙත පැමිණ තිබේ. අවාසනාවන්ත ලෙස මියගිය මෙම බිළිඳා එම පවුලේ දෙවැනි දරුවා වන අතර, ඔහුට වයස අවුරුදු 4ක වැඩිමහල් සහෝදරයෙකු ද සිටියි. දරුවාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද දින රාත්‍රී 9.00 ට ආඩියාකඩවත්ත ඉස්ලාම් දේවස්ථාන සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව ඇති අතර, ගම්පොළ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.














