ස්වභාවධර්මයේ අතිශය දුර්ලභ මෙන්ම විශ්මයජනක විපර්යාසයක් පෙන්නුම් කරමින්, සාමාන්‍ය වර්ධන රටාවෙන් බැහැරව කෙසෙල් ගසක කඳ මැදින් ඉහළට විහිදී යන පරිදි වැවුණු අපූර්ව ඇඹුල් කෙසෙල් කැනක් හැටන්, කොටගල, භාතියපුරම් ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ගෙවත්තකින් වාර්තා වේ.
කොටගල භාතියපුරම් ජනපදයේ පදිංචි එස්. සිවකුමාර් මහතාට අයත් නිවාස පරිශ්‍රයේ පිහිටි ගෙවත්තක මෙම සුවිශේෂී කෙසෙල් කැන හටගෙන තිබේ. සිවකුමාර් මහතා ප්‍රකාශ කළේ තමන් අලුතින් ඉදිකරන ලද වෙළඳසැල විවෘත කිරීමේ මංගල්‍යය සඳහා ප්‍රදර්ශනය කිරීමට කෙසෙල් කැන් දෙකක අවශ්‍යතාවක් පැවති බවයි. ඒ සඳහා තම ගෙවත්තේ වගා කර තිබූ කෙසෙල් පඳුරකින් කැනක් කැපීමට ගිය අවස්ථාවේදී, මෙම කෙසෙල් ගසේ කඳ මැදින් අසාමාන්‍ය ලෙස මතු වී තිබූ ඇඹුල් කෙසෙල් කැන තමන්ට මුලින්ම දැකගත හැකි වූ බව ඔහු පැවසීය.














