නව අග්‍රාමාත්‍ය පීටර් මැග්යාර් (Peter Magyar) විසින් තමන්ට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස කරන ලද දැඩි බලපෑම් සහ ඉල්ලීම් හංගේරියානු ජනාධිපති තමස් සුල්යොක් (Tamas Sulyok) මහතා මුළුමනින්ම ප්‍රතික්ෂේප කර තිබේ. අද (18) දින ප්‍රකාශයට පත් වූ විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ තමන් ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා කිසිදු නීත්‍යානුකූල හෝ ව්‍යවස්ථාපිත පදනමක් නොමැති බවයි.
පසුගිය අප්‍රේල් මාසයේ පැවැති හංගේරියානු මහ මැතිවරණයෙන් වසර 16ක් තිස්සේ එරට පාලනය කළ වික්ටර් ඕර්බන්ගේ (Viktor Orban) ෆිදෙස් (Fidesz) පක්ෂය පරදවා, පීටර් මැග්යාර්ගේ “තිස්සා” (TISZA) පක්ෂය දැවැන්ත ජයග්‍රහණයක් අත්කර ගත්තේය. එම මැතිවරණ ජයග්‍රහණය පාලන තන්ත්‍රයේ පූර්ණ වෙනසක් සඳහා ජනතාව දුන් ඡන්දයක් බව පවසන අග්‍රාමාත්‍ය මැග්යාර්, හිටපු පාලනය විසින් පත්කරන ලද ජනාධිපති තමස් සුල්යොක් ඇතුළු උසස් නිලධාරීන්ට එළඹෙන මැයි මාසය අවසන් වීමට පෙර ධුරවලින් ඉල්ලා අස්වන ලෙස දිගින් දිගටම බලපෑම් කරමින් සිටියි.
කෙසේ වෙතත්, “Index.hu
” පුවත් වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් ජනාධිපති තමස් සුල්යොක් මහතා කියා සිටියේ, “මා ලබාදුන් නිල ප්‍රතිඥාවට මම සැමවිටම විශ්වාසවන්තව සිටිනවා. මගේ ධුරයේ කටයුතු සිදුකිරීම නීත්‍යානුකූලව වළක්වන තෙක්, මා භාරගත් ජනවරම අවසන් වනතුරුම මම ජනාධිපති ධුරයේ කටයුතු අඛණ්ඩව ඉදිරියට කරගෙන යනවා,” යනුවෙනි. හංගේරියාවේ ජනාධිපති ධුරය බොහෝ දුරට චාරිත්‍රානුකූල එකක් වුව ද, නව රජය පනවන නීති නැවත සලකා බැලීම සඳහා පාර්ලිමේන්තුවට හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය වෙත යොමු කිරීමේ බලය ජනාධිපතිවරයා සතු වන බැවින්, එය අග්‍රාමාත්‍ය මැග්යාර්ගේ ඉදිරි ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට යම් බාධාවක් විය හැකි බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.


















