බෙරගල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ කොස්ලන්ද ග්‍රාමයේ සිට කිලෝමීටර් 6ක් දුරින්, මාර්ගයට ඉතා ආසන්නයේ පිහිටා ඇති සුප්‍රසිද්ධ දියලුම ඇල්ල මේ දිනවල ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාපතනයත් සමඟ අතිශය අලංකාර ස්වරූපයක් ගෙන තිබේ. දිය ඇල්ලේ පෝෂිත ප්‍රදේශවලට ලැබෙන මහ වැසි හේතුවෙන් ජල ධාරිතාව ඉහළ ගොස් ඇති අතර, මේ නිසා දියලුම ඇල්ලේ මනරම් දසුන නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් මේ දිනවල එහි පැමිණෙමින් සිටිති.
මීටර් 220ක උසකින් යුත් දියලුම ඇල්ල ශ්‍රී ලංකාවේ දෙවැනි උසම දිය ඇල්ල ලෙස ඉතිහාසයට එක්ව ඇති අතර, මෙම දර්ශනීය දිය ඇල්ල නිර්මාණය වී ඇත්තේ පූනාගල ඔයෙනි. වර්ෂාවත් සමඟ දිය ඇල්ල වඩාත් සක්‍රිය සහ ආකර්ෂණීය වී තිබුණ ද, පවතින කාලගුණික තත්ත්වය හමුවේ දිය ඇල්ල අවට සංචාරය කිරීමේදී සහ දිය නෑමේදී වඩාත් විමසිලිමත් සහ ආරක්ෂිත වන ලෙස ද බලධාරීන් සංචාරකයින්ගෙන් ඉල්ලා සිටියි.














