කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ පිහිටි සියලුම පාසල්වල දරුවන් වෙනුවෙන් පෝෂදායී, සෞඛ්‍යාරක්ෂිත සහ දේශීය ආහාරවලට මුල්තැන ලබාදෙන විශේෂ ‘ආහාර ප්‍රතිපත්තියක්’ (School Food Policy) හඳුන්වා දීමට කොළඹ මහනගර සභාව ඒකමතිකව තීරණය කර තිබේ.
මෙම නව ආහාර ප්‍රතිපත්තිය පසුගියදා පැවැති සභා වාරයේදී කිසිදු විවාදයකින් තොරව සභාසම්මත වී ඇත. ඒ අනුව, කොළඹ නගර සභා සීමාවේ ඇති පාසල් ආපනශාලා (Canteens) තුළ මෙම සෞඛ්‍යාරක්ෂිත ආහාර ප්‍රතිපත්තිය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේද යන්න සොයා බැලීම, අදාළ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) සහ වෛද්‍ය නිලධාරීන්ගේ (MOH) සෘජු අධීක්ෂණය යටතේ සිදු කිරීමට ද නියමිතය.
වත්මන් පාසල් දරුවන් අතර බහුලව දක්නට ලැබෙන අධික බර, ස්ථුලතාවය (Obesity) මෙන්ම දියවැඩියාව වැනි බෝ නොවන රෝග (NCDs) ශීඝ්‍රයෙන් පැතිර යාම වැළැක්වීම සහ පාලනය කිරීම මෙම ප්‍රතිපත්තියේ ප්‍රධාන අරමුණයි. මේ යටතේ, පාසල් කැන්ටින්වල මෙතෙක් අලෙවි කළ කෘත්‍රිම පැණි බීම, පැකට් කළ කෙටි කෑම (Short Eats) සහ ක්ෂණික ආහාර (Fast Food) සම්පූර්ණයෙන්ම තහනම් වන අතර, ඒ වෙනුවට ගුණදායී දේශීය ආහාර සහ ස්වාභාවික පාන වර්ග දරුවන්ට හුරු කරවීමට කටයුතු සූදානම් කර ඇත.















