දිවයිනේ විවිධ පොලිස් ස්ථාන මඟින් විවිධ වැටලීම්වලදී සහ මංමවාදයන්හිදී පොලිස් භාරයට ගනු ලබන ගවයින් ඇතුළු අනෙකුත් සතුන් පිළිබඳ සියලු විස්තර ඡායාරූප ද සමඟින් කඩිනමින් පොදු මහජනතාව වෙත ප්‍රසිද්ධ කිරීමේ විධිමත් ඩිජිටල් ක්‍රමවේදයක් සකස් කර දෙන ලෙස ඉල්ලා “සතුන් හා යුක්තිය” සංවිධානය විසින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ. එම සංවිධානයේ සභාපති, ප්‍රමුඛ දේශපාලන හා ආගමික නායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ අත්සනින් යුතුව මෙම ලිපිය පොලිස් මූලස්ථානය වෙත යොමු කර ඇති බව වාර්තා වේ.
උන්වහන්සේ සිය ලිපිය මඟින් පෙන්වා දෙන්නේ මේ දිනවල දිවයින පුරා හිමිකරුවන් සහිත සහ හිමිකරුවන් නොමැති සතුන්, විශේෂයෙන්ම කිරි ගවයන් සොරාගැනීමේ ජාවාරම් සහ නීති විරෝධී ලෙස සත්ව ඝාතකාගාර වෙත ප්‍රවාහනය කිරීමේ සිදුවීම් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි. බොහෝ අවස්ථාවලදී පොලිසිය විසින් මෙලෙස අතරමං වූ හෝ සොරාගත් සතුන් සොයාගත්ත ද, ඒ පිළිබඳව නිසි තොරතුරු සන්නිවේදනය නොවීම නිසා සැබෑ අයිතිකරුවන්ට තමන්ගේ සතුන් නැවත සොයා ගැනීමට නොහැකි වී තිබේ. එබැවින් පොලිස් නිල වෙබ් අඩවිය හෝ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අදාළ සතුන්ගේ ඡායාරූප සහ සොයාගත් ස්ථාන ඇතුළත් දත්ත පද්ධතියක් වහාම යාවත්කාලීන කරන්නේ නම්, සත්ව ජාවාරම් මැඩලීමට මෙන්ම සතුන්ගේ අයිතිකරුවන්ට විශාල සහනයක් සැලසෙනු ඇති බව ඕමල්පේ සෝභිත හිමියෝ අවධාරණය කරති.














