ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉබෝලා වෛරස් ව්‍යාප්තිය ගෝලීය මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමත් සමඟ, ඊට මුහුණ දීම සඳහා කරුණු පහකින් සමන්විත විශේෂ ආරක්ෂිත ක්‍රියාමාර්ග මාලාවක් දියත් කිරීමට ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය හදිසි තීරණයක් ගෙන තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් අද දින විශේෂ නිල නිවේදනයක් නිකුත් කරමින් මේ බව තහවුරු කළේය. අදාළ නිවේදනයට අනුව මේ වන විට කොංගෝ රාජ්‍යය සහ උගන්ඩාව යන රටවල ඉබෝලා වෛරසය ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අතර, එම ගෝලීය තත්ත්වය සැලකිල්ලට ගනිමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මත මෙරට තුළ ක්‍රියාමාර්ග කිහිපයක් ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.
ඒ අනුව කටුනායක ඇතුළු සියලුම ජාත්‍යන්තර ගුවන්තොටුපළවල් ආශ්‍රිතව මගීන් නිරීක්ෂණය කිරීමේ ආවේක්ෂණ කටයුතු වහාම ශක්තිමත් කිරීමට පියවර ගන්නා අතර, මෙරටින් කිසියම් හෝ සැක සහිත ඉබෝලා රෝගියෙකු වාර්තා වුවහොත් වහාම ප්‍රතිකාර ලබාදීම සඳහා මුල්ලේරියාව ජාතික බෝවන රෝග විද්‍යායතනය සියලු පහසුකම් සහිතව පෙර සූදානම් කර තැබීමට ද කටයුතු කෙරේ. එමෙන්ම රෝග විනිශ්චය සහ අවශ්‍ය පරීක්ෂණ කටයුතු කඩිනමින් සිදුකිරීම සඳහා බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය උපරිමයෙන් සූදානම් කරන අතර, රට තුළ සමස්ත වසංගත ආවේක්ෂණ පද්ධතිය දැඩි කරමින් ගෝලීය වශයෙන් ඉබෝලා වෛරසයේ වත්මන් හැසිරීම් රටාව නිරන්තරයෙන් අධ්‍යයනය කිරීමට ද නියමිතය. මීට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය මඟින් ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ සෘජු හා මනා සම්බන්ධීකරණයක් අඛණ්ඩව පවත්වාගෙන යනු ලබයි.
කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වත්මන් නිර්ණායකයන්ට අනුව ශ්‍රී ලංකාව මේ වන විටත් මෙම රෝගය සඳහා ඉතා අඩු අවදානමක් සහිත රටක් ලෙස නම් කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි. එබැවින් මෙම තත්ත්වය පිළිබඳව අනියත බියක් හෝ කලබලයක් ඇති කරගත යුතු නොවන බවත්, රට වැසියන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු සියලුම පූර්ව ආරක්ෂිත පියවර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ වන විටත් නිසි පරිදි ගෙන ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් අවධාරණය කර ඇත.














