පාඨලී චම්පික රණවක සහ රංජිත් සියඹලාපිටිය මහත්වරුන් විදුලිබල සහ බලශක්ති අමාත්‍ය ධුර දැරූ කාලසීමාවන්හිදී ගල්අඟුරු ආනයනය කිරීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේසේකර මහතා විසින් ගල්අඟුරු වංචා සෙවීමේ ජනාධිපති කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් භාර දී තිබේ.
මෙම පැමිණිල්ලේ අඩංගු කරුණු අනුව, පාඨලී චම්පික රණවක මහතා විදුලිබල අමාත්‍යවරයා ලෙස කටයුතු කළ 2009 – 2014 කාලසීමාවේදී කැබිනට් මණ්ඩලයේ අනුමැතියකින් තොරව මෙට්‍රික් ටොන් 285,000ක ගල්අඟුරු ප්‍රමාණයක් ආනයනය කර ඇති බව මන්ත්‍රීවරයා චෝදනා කරයි.
එසේම, 2015 – 2016 කාලසීමාව තුළදී ස්පොට් ටෙන්ඩර් සහ ටර්ම් ටෙන්ඩර් ක්‍රමයට මෙට්‍රික් ටොන් මිලියන 4.4ක් ආනයනය කර ඇති බවත්, විගණන වාර්තාවලට අනුව එම ටෙන්ඩර් දෙක අතර මිල පරතරය රුපියල් මිලියන 1800ක් බවත් පැමිණිල්ලේ සඳහන් වේ. මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කිරීමේ අවශ්‍යතාව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
මීට අමතරව, රංජිත් සියඹලාපිටිය මහතා විදුලිබල අමාත්‍යවරයා ලෙස කටයුතු කළ 2017 වසරේදී මෙට්‍රික් ටොන් මිලියන 2.25ක ගල්අඟුරු ආනයනය කිරීමේදී ටෙන්ඩර් කාලය අවසන් වීමෙන් පසු, මූලික ටෙන්ඩර්කරුවන් නොවන වෙනත් පාර්ශ්වයකට පෞද්ගලික සාකච්ඡා මාර්ගයෙන් ටෙන්ඩරය ලබා දීම හරහා වංචාවක් සිදුව ඇති බව පැමිණිල්ලේ වැඩිදුරටත් දැක්වේ. මෙම සිදුවීම් පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙස මන්ත්‍රීවරයා ජනාධිපති කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇත.















