ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ‘ඔක්ස්ෆර්ඩ් ස්කූල් ඔෆ් ග්ලෝබල් ඇන්ඩ් ඒරියා ස්ටඩීස්’ (OSGA) ආයතනය සංවිධානය කළ 2026 වාර්ෂික දේශනය, ශාන්ත ඇන්තනී විද්‍යාලයේදී පවත්වන ලදී. “සංවර්ධනයේ දේශපාලනය: ශ්‍රී ලංකාව සහ ඉන් ඔබ්බට” (The Politics of Development: Sri Lanka and Beyond) යන තේමාව යටතේ ඇය මෙම දේශනය ඉදිරිපත් කළාය.
දේශනයේ ප්‍රධාන අංගයන්හිදී අගමැතිවරිය සංවර්ධනය පිළිබඳ නව දෘෂ්ටිකෝණයක් ඉදිරිපත් කරමින්, සංවර්ධනය යනු හුදෙක් ප්‍රතිපත්ති සහ සංඛ්‍යාලේඛනවලට පමණක් සීමා නොවන්නක් බවත්, ආර්ථික අර්බුදවලින් ගොඩ එන ජාතියක ජනතාවගේ සැබෑ අත්දැකීම් එයට පාදක විය යුතු බවත් අවධාරණය කළාය.
කාන්තා දේශපාලන සහභාගිත්වය පිළිබඳව අදහස් දක්වමින්, ශ්‍රී ලංකාවේ බිම් මට්ටමේ ව්‍යාපාර සහ නායකත්ව අවකාශයන් තුළ කාන්තාවන්ගේ මැදිහත්වීම ඉහළ යමින් පවතින බව පෙන්වා දුන් ඇය, පවතින සමාජ හා දේශපාලන ව්‍යුහයන් වෙනස් කිරීමේදී පවතින අභියෝග පිළිබඳව ද කරුණු දැක්වූවාය. එමෙන්ම, ගෘහස්ථ සහ ප්‍රජා මට්ටමින් කාන්තාවන් ඉටු කරන වැටුප් නොලබන සේවාවන්හි වටිනාකම සහ ඒවායේ නොපෙනී යන දායකත්වය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලදී.
තිරසාර ආර්ථික ප්‍රතිසාධනය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අගමැතිවරිය, තිරසාර සංවර්ධනය යනු ආර්ථික ප්‍රගතිය පමණක් නොව, ගෞරවය, සාධාරණත්වය සහ සමාජ සුබසාධනය සමතුලිත කර ගැනීමක් බව පෙන්වා දුන්නාය. රජයන්, ජාත්‍යන්තර සංවර්ධන ආයතන සහ දේශීය ආයතන අතර පවතින සම්බන්ධතාවය ශක්තිමත් විය යුතු බවත්, එහිදී ප්‍රමුඛතාවය ලබා දිය යුත්තේ දේශීය යථාර්ථයන්ට සහ ජනතාවගේ වගවීම්වලට බවත් ඇය ප්‍රකාශ කළාය.
සමාජ විද්‍යාඥවරියකගේ දෘෂ්ටියෙන් කරුණු ඉදිරිපත් කරමින්, සමාජ මානව විද්‍යාඥවරියක, ක්‍රියාකාරිනියක සහ අධ්‍යාපනඥවරියක ලෙස තමා ලද අත්දැකීම් ඇසුරින්, ක්‍රියාකාරීත්වය (activism) දිගුකාලීන ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණ බවට පරිවර්තනය කිරීමේ අභියෝග ගැන ඇය සාකච්ඡා කළාය. සැබෑ පරිවර්තනයක් සඳහා ඉවසීම, සාකච්ඡා කිරීම සහ අඛණ්ඩ මහජන සම්බන්ධතාවය අත්‍යවශ්‍ය බව ඇය සිහිපත් කළාය.
දේශනය අවසානයේ පැවති ප්‍රශ්නෝත්තර සැසියේදී යහපාලනය, ආයතනික ස්වාධීනත්වය සහ දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳව අගමැතිවරිය සිසුන් සහ පර්යේෂකයන් සමඟ අදහස් හුවමාරු කර ගත්තාය. OSGA ආයතනයේ ප්‍රධානී මහාචාර්ය ඩියාගෝ සැන්චෙස්-ඇන්කෝචියා මහතා අගමැතිවරියගේ දේශනය අගය කරමින් පවසා සිටියේ, එය ශාස්ත්‍රීය දැනුම සහ ප්‍රායෝගික දේශපාලන අත්දැකීම් මනාව සම්මිශ්‍රණය වූ කාලෝචිත විග්‍රහයක් බවයි.














