අඩු ආදායම්ලාභී ලොතරැයි අලෙවිකරුවන්ගේ පාසල් අධ්‍යාපනය ලබන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීම වෙනුවෙන් සහ සහාය දැක්වීමක් ලෙස මාසිකව විශේෂ ශිෂ්‍යාධාරයක් පිරිනැමීමට ජනාධිපති අරමුදලේ අවධානය යොමු වී තිබේ. ඊයේ (20) දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අරමුදලේ ලේකම් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රොෂාන් ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්, ජාතික ලොතරැයි මණ්ඩලයේ සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නිලධාරීන් අතර පැවැති විශේෂ සාකච්ඡාවකදී මේ බව අනාවරණය විය.
ජනාධිපති අරමුදල මඟින් මේ වන විටත් ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය වන පරිදි අඩු ආදායම්ලාභීන්ට ආධාර පිරිනමන අතර, එහි තවත් පියවරක් ලෙස මෙම ශිෂ්‍යාධාර ක්‍රමය ක්‍රියාත්මක කිරීමට ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලයේ නිල අනුමැතිය ද හිමිව ඇත. ජනාධිපති අරමුදල ශක්තිමත් කිරීම සඳහා ලොතරැයි මණ්ඩල මඟින් විශාල මූල්‍ය දායකත්වයක් සැපයුව ද, එම ආදායම් උපයා දීමට වෙහෙසෙන ලොතරැයි අලෙවිකරුවන්ගේ ජීවන මට්ටම වෙනස් නොවීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණි. ඒ අනුව ඔවුන්ගේ සේවය ඇගයීමට සහ ජීවන බරට සහනයක් වීමට මෙම යෝජනාව ඉදිරිපත් වූ අතර, ඒ සඳහා දායකත්වය දැක්වීමට ලොතරැයි මණ්ඩල දෙකෙහිම නිලධාරීන් එකඟතාව පළ කර තිබේ. මෙම ශිෂ්‍යාධාර වැඩසටහන ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා කඩිනමින් ක්‍රියාවට නැංවීමට තීරණය කර ඇත. මෙම සාකච්ඡාව සඳහා ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති එම්. ඩී. සී. ඇන්ටන් පෙරේරා, එහි සාමාන්‍යාධිකාරී ඒ. එම්. අරීෆ් සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඩබ්. කේ. ඒ. ඒ. ජයරත්න යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.














