වත්මන් ඩෙංගු රෝග ව්‍යාප්තිය හමුවේ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා විශේෂිත සායනයක් බොරැල්ල ජාතික ආයුර්වේද රෝහලේදී එළඹෙන ජූලි 31 වන සිකුරාදා දින සිට ආරම්භ කරන බව රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය පරාක්‍රම හේමචන්ද්‍ර මහතා පවසයි. ආයුර්වේද වෛද්‍ය සම්ප්‍රදාය යටතේ ප්‍රතිකාර ලබා ගැනීමට අපේක්ෂා කරන රෝගීන්ට මෙම රෝහලට පැමිණ ප්‍රතිකාර ලබා ගන්නා ලෙස ඒ මහතා ඉල්ලා සිටී.
කෙසේ වෙතත්, ඩෙංගු රෝගය සඳහා සුදුසුකම් ලත් බටහිර හෝ ආයුර්වේද වෛද්‍යවරයෙකු නියම කරන ඖෂධ හැර කිසිදු අත් බෙහෙතක් භාවිතා නොකළ යුතු බව බොරැල්ල ජාතික ආයුර්වේද රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය සමින්ද ආරියරත්න මහතා දැඩිව අවධාරණය කරයි. පැපොල් කොළ යුෂ වැනි අත් බෙහෙත් භාවිතය නිසා ඇතැම් රෝගීන් අසාධ්‍ය තත්ත්වයට පත්ව සංකූලතාවලට මුහුණපා ඇති බැවින්, සමාජ මාධ්‍යවල සංසරණය වන පණිවිඩ මත පදනම්ව ඖෂධ සකසා ගැනීම හෝ භාවිත කිරීමෙන් වැළකී සිටින ලෙස ද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දී ඇත.















