ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට දැවැන්ත උත්තේජනයක් සපයමින්, විදේශීය සංචාරකයන් 2,380 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 951 දෙනෙකු රැගත් ‘Mein Schiff 6’ (මේන් ෂිෆ් 6) නැමති ලොව සුප්‍රකට සුඛෝපභෝගී මඟී නෞකාව අද (21) පෙරවරුවේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය (ECT ජැටිය) වෙත සේන්දු වී තිබේ. වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය නිල වශයෙන් තහවුරු කරන පරිදි, මෝල්ටා (Malta) රාජ්‍යයේ ධජය යටතේ යාත්‍රා කරන මෙම දැවැන්ත සුඛෝපභෝගී මන්දිරයක් බඳු නෞකාව ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.
දිගින් මීටර් 295ක් සහ පළලින් මීටර් 42ක් වන මෙම අතිවිශාල නෞකාවෙන් පැමිණි විදේශීය සංචාරකයන් පිරිස උණුසුම් අයුරින් පිළිගැනීම සඳහා වරාය පරිශ්‍රය තුළ ශ්‍රී ලාංකේය සම්ප්‍රදායික උඩරට නැටුම් ඇතුළු අලංකාර සංස්කෘතික කලා සංදර්ශන රැසක් සංවිධානය කර තිබුණි. මෙරට ප්‍රමුඛ පෙළේ සංචාරක සමාගම් මැදිහත් වී මෙම පිළිගැනීමේ කටයුතු සූදානම් කර තිබූ අතර, දිවයිනට පැමිණි මෙම විදේශීය අමුත්තන් පිරිස කොළඹ, මහනුවර, පින්නවල සහ ගාල්ල ඇතුළු ප්‍රධාන සංචාරක පුරවරයන්හි සංචාරය කිරීමට නියමිතය. මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ සුඛෝපභෝගී නෞකා ශ්‍රී ලංකාවට පැමිණීම, රට තුළට විදේශ විනිමය ගලා ඒම ඉහළ නැංවීමට මෙන්ම ශ්‍රී ලංකාව ආරක්ෂිත සංචාරක කලාපයක් ලෙස ලෝකය පුරා ප්‍රවර්ධනය වීමට ද මහඟු පිටුවහලක් වනු ඇත.














