බෙල්ජියමේ ශ්‍රී ලාංකිකයන්ගේ සංගමය විසින් රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදල වෙනුවෙන් යූරෝ 17,600ක (Euro 17,600) මූල්‍ය පරිත්‍යාගයක් සිදුකර තිබේ. ඊට අදාළ චෙක්පත පසුගිය 19 වැනිදා බෙල්ජියමේ ශ්‍රී ලාංකිකයන්ගේ සංගමයේ උප සභාපති නිමල් ජයකොඩි මහතා විසින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිල වශයෙන් භාර දෙන ලදී.
පසුගියදා බලපෑ “දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් දැඩි ලෙස හානියට පත් වූ මාතලේ, ගම්මඩුව දෙමළ මහා විද්‍යාලයේ ප්‍රතිසංස්කරණ හා නැවත ගොඩනැඟීමේ කටයුතු වෙනුවෙන් මෙම සම්පූර්ණ මුදල උපයෝගී කර ගැනීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) නිවේදනය කරයි. මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමන්ත පෙරේරා මහතාගේ සෘජු සම්බන්ධීකරණයෙන් යුතුව ක්‍රියාත්මක වූ මෙම සත්කාර්යය සඳහා බෙල්ජියමේ ශ්‍රී ලාංකික ප්‍රජාව මෙන්ම බෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ද සිය පූර්ණ සහාය සහ දායකත්වය සපයා ඇත.
















