ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව දේශීය රුපියලේ අගය ශීඝ්‍රයෙන් අවප්‍රමාණය වීම හේතුවෙන් ඉදිරියේදී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක මිල ගණන් ඉහළ යාම වැළැක්විය නොහැකි බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරයි.
ඩොලරයේ අගය දැනට රුපියල් 340 සීමාවට ආසන්න වී තිබීම නිසා ජාත්‍යන්තර වෙළෙඳපොළේ භාණ්ඩවල මිල අඩු වුවද, එහි වාසිය දේශීය පාරිභෝගිකයාට ලබා දීමේ හැකියාවක් ආනයනකරුවන්ට නොමැත. උදාහරණයක් ලෙස ලෝක වෙළෙඳපොළේ බී ලූනු මිල ඩොලර් 300 සිට 250 දක්වා අඩු වුවද, රුපියලේ අගය පිරිහීම නිසා දේශීය වෙළෙඳපොළේ එම මිල අඩු කිරීමට නොහැකි වී ඇත. ඉන්දියාව විසින් සීනි අපනයනය සැප්තැම්බර් 30 දක්වා තහනම් කිරීම නිසා නව මූලාශ්‍ර සෙවීමට සිදුව ඇතත්, මේ වන විට මෙරට ප්‍රමාණවත් සීනි තොග පවතින බව සංගමය තහවුරු කරයි.
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ බරපතළ කඩා වැටීමක්
රුපියල අවප්‍රමාණය වීම සහ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය බරපතළ අර්බුදයකට ලක්ව ඇති බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසයි. ඉදිකිරීම් ද්‍රව්‍ය වර්ග 300කට ආසන්න ප්‍රමාණයක මිල ඉදිරියේදී 40%කින් පමණ ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. දැනටමත් සිමෙන්ති, වැලි සහ කොන්ක්‍රීට් කම්බි මිල ඉහළ ගොස් ඇති අතර, කළුගල් මිල 60%කින් ද, කාපට් මිල 40%ත් 50%ත් අතර ප්‍රමාණයකින් ද ඉහළ ගොස් ඇත.
පවතින රෙගුලාසි අනුව මාස තුනකට වැඩි ව්‍යාපෘති සඳහා පමණක් මිල ගැලපුම් ලැබෙන නමුත්, ඉදිකිරීම් සංගමය ඉල්ලා සිටින්නේ මාස තුනකට අඩු කෙටි කාලීන ව්‍යාපෘති සඳහා ද මෙම සහනය ලබා දෙන ලෙසයි. රුපියල තවදුරටත් කඩා වැටුණහොත් රජයට මුල් ගිවිසුම්ගත මුදලට වඩා 40%ත් 50%ත් අතර අමතර පිරිවැයක් දැරීමට සිදුවනු ඇත. ක්ෂේත්‍රය මුළුමනින්ම අඩපණ වීම වැළැක්වීම සඳහා, මිල නිර්ණායකයන්ට අනුව වැඩි වන පිරිවැය කිසිදු ප්‍රමාදයකින් තොරව කොන්ත්‍රාත්කරුවන් වෙත ගෙවීමට පියවර ගන්නා ලෙස ඔවුහු රජයෙන් ඉල්ලා සිටිති.















