මැයි මස 16 වැනිදා සිට වාහන ආනයනය සඳහා 50%ක අධිභාරයක් පැනවීමට රජය තීරණය කර තිබියදී, ඊට පෙර දිනයේ එනම් මැයි 15 වැනිදා හදිසියේම වාහන 1782ක් සඳහා ණයවර ලිපි (LC) නිකුත් කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා චෝදනා කරයි.
මෙම ණයවර ලිපි නිකුත් කර ඇත්තේ ජනාධිපතිවරයා යටතේ ක්‍රියාත්මක වන ‘Rebuilding Sri Lanka’ වැඩසටහනේ සාමාජික ක්‍රිෂාන් බලේන්ද්‍ර, ජනාධිපතිවරයාගේ සමීපතමයින් ලෙස සැලකෙන ධම්මික පෙරේරා සහ ඉෂාර නානායක්කාර යන මහත්වරුන්ගේ සමාගම් සඳහා බව මන්ත්‍රීවරයා හෙළි කළේය. බද්ද පැනවීමට පෙර සතිය තුළ පමණක් මෙලෙස වාහන 4000ක් සඳහා ණයවර ලිපි නිකුත් කර ඇති බව පෙන්වා දෙන රහුමාන් මහතා, මෙය සංවිධානාත්මක අපරාධයක් බව අවධාරණය කරයි.
අනුර කුමාර දිසානායක මහතා මන්ත්‍රීවරයෙකු ලෙස සිටි කාලයේදී ගජමිතුරු ආර්ථිකය දැඩි ලෙස විවේචනය කළ ද, බලයට පත්වීමෙන් පසුව ද සිදුවන්නේ එම ගජමිතුරු ආර්ථිකයම නඩත්තු කිරීම බව ඔහු පෙන්වා දෙයි. එසේම ජාතික ජන බලවේගයේ නායකයින් මැතිවරණ වේදිකාවේදී ලබා දුන් පොරොන්දු ද අසාර්ථක වී ඇති බව ඔහු ප්‍රශ්න කරයි. විශේෂයෙන්ම ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළ පක්ෂ යාන්ත්‍රණය හරහා ඩොලර් ගෙන්වීමේ පොරොන්දුව සහ සුනිල් හඳුන්නෙත්ති මහතාට ලැබුණු බව කියන ඩොලර් මිලියනයක දුරකථන ඇමතුම පිළිබඳව ද ඔහු මතක් කර සිටියි.
වර්තමානයේ ඩොලරයේ අගය විනාඩියෙන් විනාඩිය ඉහළ යන බවත්, එක් සතියක් තුළ රුපියල් 120කින් පමණ ඩොලරයේ අගය ඉහළ ගොස් ඇති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. 355ට තිබූ ඩොලරය 385 දක්වා ඉහළ යාමට හේතු වී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇති කරගත් කොන්දේසි නිසා මහ බැංකුව ඩොලර් නිකුත් නොකිරීම බව ඔහු පවසයි. ආර්ථිකය ක්‍රමයෙන් නරක අතට ගමන් කරමින් පවතින බවත්, හාල් ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල පාලනය කළ නොහැකි ලෙස ඉහළ යන බවත් සඳහන් කරන රහුමාන් මහතා, හිටපු පාලකයින් මෙන්ම වත්මන් පාලකයින් ද බොරු පවසමින් රටේ ආර්ථිකය විනාශ කරමින් සිටින බවත් මෙහි භයානක ප්‍රතිඵල ඉදිරියේදී සමස්ත ජනතාවටම අත්විඳීමට සිදුවනු ඇති බවත් ප්‍රකාශ කළේය.














