රාජ්ය ණය කළමනාකරණ කාර්යාලය විසින් ඊයේ (20) දින කැඳවා තිබූ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී බලාපොරොත්තු වූ මට්ටමට වඩා ආයෝජක උනන්දුව පහළ ගොස් ඇති අතර එහි සමස්ත සාර්ථකත්වය සියයට 48ක් වැනි අඩු අගයක් ගෙන තිබේ. මෙම වෙන්දේසිය සඳහා රුපියල් මිලියන 140,000ක සමස්ත බිල්පත් ප්රමාණයක් වෙළඳපොළට ඉදිරිපත් කර තිබුණ ද රජය විසින් ඉන් පිළිගෙන ඇත්තේ රුපියල් මිලියන 67,337ක වටිනාකමකින් යුතු ලංසු ප්රමාණයක් පමණි. කෙසේ වුවද මෙම වෙන්දේසිය සඳහා ආයෝජකයින්ගෙන් රුපියල් මිලියන 232,291ක ඉහළ ලංසු ප්රමාණයක් ලැබී තිබුණු බව රාජ්ය ණය කළමනාකරණ කාර්යාලය පවසයි. ආයෝජකයින් ඉහළ පොලී අනුපාතික ඉල්ලා ලංසු තැබීම හේතුවෙන් රජයේ පොලී පිරිවැය පාලනය කරගැනීමේ අරමුණින් මෙලෙස ලැබුණු ලංසුවලින් අඩකටත් වඩා ප්රතික්ෂේප කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.
මෙම වෙන්දේසියේදී කෙටි කාලීන බිල්පත් ඵලදා අනුපාතික සුළු ඉහළ යාමක් පෙන්නුම් කළ අතර දිගු කාලීන බිල්පත් අනුපාතිකය නොවෙනස්ව පැවතුණි. ඒ අනුව දින 91 භාණ්ඩාගාර බිල්පත් ඵලදා අනුපාතිකය සියයට 8.13 සිට සියයට 8.18 දක්වා පදනම් අංක 5කින් ඉහළ ගොස් ඇති අතර දින 182 භාණ්ඩාගාර බිල්පත් ඵලදා අනුපාතිකය සියයට 8.23 සිට සියයට 8.25 දක්වා පදනම් අංක 2කින් ඉහළ ගොස් තිබේ. එලෙස කෙටි කාලීන බිල්පත් අනුපාතික ඉහළ යද්දී දින 364 දිගු කාලීන භාණ්ඩාගාර බිල්පත් අනුපාතිකය කිසිදු වෙනසක් නොවී සියයට 8.49 මට්ටමේම ස්ථාවරව පැවති බව වාර්තා වේ.














