ගෝලීය ඇඟලුම් ක්ෂේත්‍රය තුළ පසුගිය වසර පහළොවක කාලය තුළ වියට්නාමය ලබා ඇති දැවැන්ත කාර්මික ප්‍රගතිය, නිදහස් වෙළෙඳ ගිවිසුම් ආර්ථික වර්ධන මෙවලමක් ලෙස සාර්ථකව භාවිත කළ හැකි ආකාරය පිළිබඳව ශ්‍රී ලංකාවට කදිම නිදසුනක් සපයයි. ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) විසින් සම්පාදනය කරන ලද විශ්ලේෂණයකට අනුව, වියට්නාමයේ අපනයන කේන්ද්‍රීය ආර්ථික මොඩලය මඟින් ශ්‍රී ලංකාවේ වර්තමාන වෙළෙඳ ප්‍රතිපත්තිය ශක්තිමත් කරගැනීම සඳහා වටිනා උපායමාර්ගික පාඩම් රැසක් අනාවරණය කරගත හැක. වියට්නාමය සිය වෙළෙඳ ප්‍රතිපත්තිය හුදෙක් පරිපාලන මෙවලමකට එහා ගිය සැලසුම්ගත වර්ධන උපායමාර්ගයක් ලෙස භාවිත කරමින් ආර්ථිකයන් 60ක් පමණ ආවරණය වන පරිදි ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික නිදහස් වෙළෙඳ ගිවිසුම් 19ක් ක්‍රියාත්මක කිරීමට සමත්ව තිබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස 1988 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 19%ක් වූ වියට්නාමයේ වෙළෙඳ විවෘතභාවය 2022 වන විට 184% දක්වා අතිදැවැන්ත වර්ධනයක් පෙන්වා ඇති අතර, ශ්‍රී ලංකාවේ වෙළෙඳ විවෘතභාවය තවමත් පවතින්නේ 50% ත් 55% ත් අතර මට්ටමකය.
ගෝලීය වෙළෙඳ නාම චීනයෙන් බැහැරව වෙනත් සැපයුම්කරුවන් සෙවීමේ “China+1” උපායමාර්ගය සහ CPTPP, EVFTA, RCEP වැනි පුළුල් වෙළෙඳ ගිවිසුම් ජාලය හේතුවෙන් වියට්නාමය විශ්වාසනීය ගෝලීය සැපයුම් මධ්‍යස්ථානයක් බවට පත්ව ඇත. පසුගිය වසර 15 තුළ වියට්නාමයේ ඇඟලුම් අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 13 සිට බිලියන 45 දක්වා 250% කින් පමණ ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති පසුබිමක, ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන එම කාලය තුළම ඩොලර් බිලියන 3.4 සිට බිලියන 5.4 දක්වා වර්ධනය වී ඇත්තේ 58% ක මන්දගාමී වේගයකිනි. වියට්නාමය සතු ඉතා මධ්‍යගත, තාක්ෂණික වශයෙන් ශක්තිමත් සහ දේශපාලනික වශයෙන් බලගැන්වූ වෙළෙඳ සාකච්ඡා ව්‍යුහය ඔවුන්ගේ සාර්ථකත්වයේ ප්‍රධානතම රහසක් වන අතර, ඔවුන් සිය ප්‍රධාන වෙළෙඳ සාකච්ඡාකරු ලෙස නියෝජ්‍ය අමාත්‍ය මට්ටමේ නිලධාරියෙකු පත් කරමින් අමාත්‍යාංශ අතර මනා සම්බන්ධීකරණයක් සහ තීරණ ගැනීමේ බලය සහතික කර තිබේ.















