ශ්‍රී ලංකාවේ වෘත්තීය සහ ආර්ථික ක්ෂේත්‍රයේ සුවිශේෂී ඉදිරි පියවරක් සලකුණු කරමින්, රටේ එකම ජාතික වෘත්තීය කළමනාකරණ ගිණුම්කරණ ආයතනය වන ශ්‍රී ලංකා කළමනාකරණ ගණකාධිකාරී ආයතනය (CMA Sri Lanka) විසින් ශ්‍රී ලංකාව සඳහා වන පිරිවැය ගිණුම්කරණ ප්‍රමිතීන් (Cost Accounting Standards) නිල වශයෙන් හඳුන්වා දී තිබේ. රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයේම පිරිවැය සහ කළමනාකරණ ගිණුම්කරණ ක්‍රියාවලීන් ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළෙහි නිල ආරම්භක උත්සවය 2026 මැයි 15 වන දින පස්වරු 6.00 සිට 8.30 දක්වා කොළඹ ටාජ් සමුද්‍රා (Taj Samudra) හෝටලයේ ක්‍රිස්ටල් බෝල්රූම් (Crystal Ballroom) හිදී අභිමානවත් අයුරින් පැවැත්විණි. ව්‍යාපාරික නායකයින්, මූල්‍ය හා කළමනාකරණ ගණකාධිකාරීවරුන්, ප්‍රතිපත්ති සම්පාදකයින්, අධ්‍යාපනික විශේෂඥයින් මෙන්ම ජාත්‍යන්තර නියෝජිතයින් ඇතුළු සම්භාවනීය පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම උත්සවය මඟින් මෙම ජාතික කාර්යභාරයේ ඇති සුවිශේෂී වැදගත්කම මැනවින් පිළිබිඹු විය.
ඉන්දියාවේ පිරිවැය ගිණුම්කරණ ප්‍රමිතීන් පදනම් කරගනිමින්, ශ්‍රී ලංකාවේ දේශීය ආර්ථික අවශ්‍යතාවලට ගැළපෙන පරිදි මනාව සංශෝධනය කර සකස් කරන ලද මෙම නව ප්‍රමිතීන් එළිදැක්වීම මූල්‍ය කළමනාකරණ රාමුව තුළ දිගු කලක් තිස්සේ බලාපොරොත්තු වූ අවශ්‍යතාවයක් සපුරාලීමකි. මෙමඟින් පිරිවැය මැනීම, පාලනය කිරීම සහ වාර්තාකරණය සඳහා විධිමත් ව්‍යුහගත මාර්ගෝපදේශ සැපයෙන අතර, එමඟින් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ විශාල හා මධ්‍යම පරිමාණ ආයතනවල කාර්යසාධනය ඉහළ නැංවීමටත්, සම්පත් වඩාත් කාර්යක්ෂමව බෙදාහැරීමටත්, කර්මාන්ත තුළ සෞඛ්‍ය සම්පන්න තරඟකාරීත්වයක් ඇති කිරීමටත් විශාල දායකත්වයක් ලැබෙනු ඇත. මෙම සුවිශේෂී ප්‍රමිතීන් හඳුන්වා දීම හරහා ආයතනවල විනිවිදභාවය, කාර්යක්ෂමතාව සහ උපායමාර්ගික තීරණ ගැනීමේ හැකියාව වර්ධනය වනවා පමණක් නොව, භාණ්ඩ හා සේවාවන් සඳහා නිසි පිරිවැය ගණනය කිරීම සහතික කරමින් මහජනතාවට සාධාරණ මිලකට භාණ්ඩ හා සේවා සැපයීමට මඟ පෑදෙන බැවින් සමස්ත සමාජයටම මෙයින් සෘජු ප්‍රතිලාභ හිමි වේ.














