06 වන ආසියානු තේ සන්ධානයට (Asian Tea Alliance) සමගාමීව, මෙරට කුඩා තේ වතු අංශයේ නව පෙරළියක් ඇති කරමින් ස්ථාපිත කරන ලද “පුනර්ජනනීය කෘෂිකර්මාන්ත ඩිජිටල් සම්පත් මධ්‍යස්ථාන” කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය වෙත නිල වශයෙන් භාරදීමේ ජාතික උත්සවය පසුගිය මැයි 20 වන දින හන්තාන රත්නසිරි වික්‍රමනායක ජාතික පුහුණු මධ්‍යස්ථානයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. ‘Solidaridad’ සහ ‘Nucleus Foundation’ යන ජාත්‍යන්තර ආයතනයන්හි පූර්ණ මූල්‍ය හා තාක්ෂණික අනුග්‍රහය යටතේ, කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ හන්තාන පුහුණු මධ්‍යස්ථානය, ප්‍රධාන කාර්යාලය සහ ගාල්ල (වලහන්දූව) ප්‍රාදේශීය කාර්යාලය කේන්ද්‍ර කරගනිමින් මෙම නවීන මධ්‍යස්ථානයන් පද්ධතිය සංවර්ධනය කර තිබේ.
මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වන්නේ කුඩා තේ වතු අංශයේ ගුණාත්මක පුනරුදයක් ඇති කරමින්, කුඩා තේ වතු හිමියන් වෙත පුනර්ජනනීය කෘෂිකර්මය පිළිබඳ නව දැනුම සහ තාක්ෂණික අවබෝධය ලබාදීමයි. එමඟින් ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය (TRI) මගින් සොයාගනු ලබන නව විද්‍යාත්මක හා කෘෂිකාර්මික දැනුම කෙටි කාලයක් තුළ වඩාත් කාර්යක්ෂමව ගොවි ජනතාව වෙත සන්නිවේදනය කිරීමට අපේක්ෂිතය. මීට අමතරව, කුඩා තේ වතු හිමියන්ගේ ප්‍රතිපෝෂණ (Feedback) ඩිජිටල් ක්‍රමවේද ඔස්සේ ලබාගැනීම, මුද්‍රිත මාධ්‍ය භාවිතය අවම කර සමාජ මාධ්‍ය හරහා තාක්ෂණික දැනුම ව්‍යාප්ත කිරීම සහ පුහුණු කරන්නන් පුහුණු කිරීමේ (Training of Trainers) මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වීම ද මෙහි ඇති විශේෂතා වේ.
මෙම සුවිශේෂී අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත වැඩබලන තානාපති අයිවන් රුට්ජන්ස් (Iwan Rutjens) මහතා, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා, කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් උඩුගම්පල මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්ද, Solidaridad ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ ආචාර්ය ශතදෘ චට්ටෝපාධායේ (Dr. Shatadru Chattopadhayay) මහතා, එහි ශ්‍රී ලංකා නියෝජිත මැලොරි ඩේවිඩ් (Malory David) මහතා සහ Nucleus Foundation අධ්‍යක්ෂ ඩේව් මොරිස් (Dave Morris) මහතා ඇතුළු දෙස් විදෙස් සම්භාවනීය ආරාධිතයින් රැසක් එක්ව සිටියහ.














