රජය සැලසුම් කළ පරිදි රටේ ආර්ථික වර්ධන වේගය සියයට 7ක මට්ටමකට ගෙන ඒමට කටයුතු සූදානම් කර තිබූ මොහොතක මැදපෙරදිග යුදමය වාතාවරණය හටගත් බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පවසයි. පවතින තත්ත්වය හමුවේ රට ගැන සිතා තාවකාලිකව ආනයන වියදම් සීමා කරගනිමින් රජයට සහාය ලබාදෙන ලෙස හෙතෙම ජනතාවගෙන් ඉල්ලා සිටියි.වත්මන් ආර්ථික තත්ත්වය සහ රුපියල අවප්‍රමාණය වීම පිළිබඳව අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ වසර 2025දී ආර්ථිකය ස්ථාවර කරමින් සියයට 5ක වර්ධන වේගයක් අත්පත් කරගත් අතර, වසර 2026 මධ්‍ය කාලීන සැලසුම වූයේ එය සියයට 7 දක්වා ඉහළ නැංවීම බවයි. 2026 වසරේ මුල් මාස තුන තුළ සියලු ආර්ථික දර්ශක සාර්ථක ප්‍රතිඵල පෙන්වූ ද, පාලනයෙන් තොරව හටගත් මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ඉන්ධන, බලශක්ති සහ නැව් ගාස්තු ඇතුළු සියලු ආනයන පිරිවැය ඉහළ ගොස් තිබේ.
මීට අමතරව වාහන ආනයනය සඳහා විශාල වශයෙන් ණයවර ලිපි (LC) විවෘත කර තිබීම නිසා විශාල විදේශ විනිමයක් වැය කිරීමට සිදුව ඇත. ඉදිරියේදී ආනයන තහනම් විය හැකි බවට සමාජය තුළ ඇති වූ අනියත බිය නිසා බොහෝ පිරිස් ක්ෂණිකව වැඩිපුර ආනයන සිදුකිරීමට ඩොලර් ඉල්ලා සිටීම හේතුවෙන්, සැපයුමට වඩා ඉල්ලුම වේගයෙන් වැඩිවී රුපියල තාවකාලිකව අවප්‍රමාණය වී ඇති බව ද හෙතෙම සඳහන් කළේය. වෙළෙඳපොළ ස්ථාවරත්වය ඇති කරගැනීම මෙහි ප්‍රධානතම කාර්යය වන අතර, මේ වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සහ රජය ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග රැසක් ගනිමින් සිටින බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.ජනතාවගේ ක්‍රය ශක්තියේ (මිලදී ගැනීමේ හැකියාවේ) සීමාවක් පවතින බැවින් ඉදිරියේදී මෙම තත්ත්වය යම් මට්ටමකට ස්වයංක්‍රීයව පාලනය වනු ඇතැයි අපේක්ෂා කළ ද, රටේ අනාගතය වෙනුවෙන් කෙටි කාලීනව තමන් සිදුකරන ආනයන වියදම් සීමා කර ස්වයං පාලනයක් ඇතිකර ගනිමින් රජයට සහාය වන ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා සමස්ත ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.














