තම වැටුප් සහ බඳවා ගැනීමේ පටිපාටිය (Recruitment Procedure) සම්බන්ධයෙන් පවතින ගැටලු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මාර්ග සංවර්ධන අධිකාරියේ (RDA) ඉංජිනේරුවන් විසින් අකුරට වැඩ කිරීමේ (Work-to-rule) වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ. මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඊයේ (21) සිට ක්‍රියාත්මක කළ බවත්, තමන් ඉදිරිපත් කළ ගැටලුවලට නිසි විසඳුම් ලැබෙන තෙක් එය අඛණ්ඩවම ඉදිරියට ගෙන යන බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු සංගමයේ සභාපති ඉංජිනේරු යූ. එල්. අලුතාපල මහතා සඳහන් කළේය.
මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය යටතේ ඉංජිනේරුවන් ගෙන ඇති සුවිශේෂී තීරණ මෙසේය:
තම වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීමේ සටනේ පියවරක් ලෙස දිස්ත්‍රික් සංවර්ධන කමිටු, ප්‍රාදේශීය සංවර්ධන කමිටු මෙන්ම, මාර්ග සංවර්ධන අධිකාරියේ විෂයපථයට (Scope) සෘජුවම අදාළ නොවන සෙසු සියලුම කමිටු රැස්වීම්වලින් සම්පූර්ණයෙන්ම ඉවත් වීමට සහ ඒවාට සහභාගී නොවීමට ද ඉංජිනේරු සංගමය තීරණය කර ඇත. මේ හේතුවෙන් ඉදිරියේදී දිවයිනේ ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් මට්ටමේ සංවර්ධන ව්‍යාපෘති රැසක සම්බන්ධීකරණ කටයුතුවලට බාධා එල්ල වීමේ අවදානමක් පවතින බව ද වාර්තා වේ.














