මැදපෙරදිග කලාපයේ පවතින දැඩි යුදමය සහ දේශපාලනික අර්බුදය හේතුවෙන් 2026 මාර්තු මාසයේ ශ්‍රී ලංකාවේ තේ අපනයන ආදායම 17.3% කින් පහත වැටී ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. ඒ අනුව එම මාසයේ තේ අපනයන ආදායම සටහන් වී ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 114.75 ක් වශයෙනි.
ශ්‍රී ලංකාවෙන් වැඩිම තේ ප්‍රමාණයක් මිලදී ගන්නා රටවල් රැසක් මැදපෙරදිග කලාපයේ පිහිටා ඇති අතර, පවතින අර්බුදය හමුවේ ඉරාකය මෙරටින් තේ මිලදී ගැනීම 38% කින් පහත දමා ඇත. එමෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) සිය තේ ආනයනය 93% කින් වැනි දැවැන්ත ප්‍රතිශතයකින් පහත දමා තිබේ. මීට අමතරව, වාර්ෂිකව ශ්‍රී ලංකා තේ කිලෝග්‍රෑම් මිලියන 8 සිට 10 දක්වා ආනයනය කරන ඉරානය, මේ වන විට ශ්‍රී ලංකාවෙන් තේ ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති බව වාර්තාවේ සඳහන් වේ.
සැපයුම් දාම බිඳ වැටීම සහ විකල්ප වෙළඳපොළවල්:
ශ්‍රී ලංකාව වාර්ෂිකව තේ අපනයනයෙන් ඩොලර් මිලියන 680ක් පමණ උපයන අතර, සමස්ත තේ අපනයනයෙන් 30% ක් පමණම මිලදී ගන්නේ මැදපෙරදිග රටවල්ය. වත්මන් නැව්ගත කිරීමේ බාධා (Shipping Logistics) හේතුවෙන් ශ්‍රී ලංකාව මේ වන විට කැනඩාව, දකුණු ඇමරිකාව සහ ඇමරිකා එක්සත් ජනපදය වැනි විකල්ප වෙළඳපොළවල් වෙත තේ අපනයනය වැඩි කිරීමට අවධානය යොමු කර තිබේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් ඩිල්මා සිලෝන් තේ සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක දිල්හාන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර ඇත්තේ, සැපයුම් කටයුතුවලට එල්ල වන බලපෑම සහ ඉන්ධන පිරිවැය ඉහළ යාම හේතුවෙන් ලෝකය පුරාම උද්ධමනය ඉහළ යමින් පවතින බවත්, තේ කර්මාන්තය ද ඉන් දැඩි පීඩනයකට ලක්ව ඇති බවත්ය.














