ශ්‍රී ලංකා මහ භාණ්ඩාගාර අරමුදල්වලින් අතිවිශාල විදේශ විනිමය ප්‍රමාණයක් සොරකම් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කඩිනම් කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) විශේෂ විමර්ශන කණ්ඩායමක් හදිසියේම දිවයිනට පැමිණ තිබේ. සෞඛ්‍ය සහ මූල්‍ය ක්ෂේත්‍ර ඉලක්ක කරගනිමින් මෑතකදී සිදුවූ ඩොලර් මිලියන 2.5ක (රුපියල් කෝටි 88කට අධික) දැවැන්ත සයිබර් මංකොල්ලයක් සහ එක්සත් ජනපද තැපැල් බලධාරීන් වෙත සිදුකළ ගෙවීම්වලට අදාළව සිදුවූ තවත් ඩොලර් 625,000ක සයිබර් වංචාවක් පිළිබඳව සොයා බැලීම මෙම විශේෂ විමර්ශනයේ ප්‍රධාන අරමුණ වී ඇත. මෙම සොරකම් කරන ලද සමස්ත මුදල් ප්‍රමාණය ඇමෙරිකානු මූල්‍ය පද්ධතිය සහ බැංකු ජාලයන් හරහා විදේශීය ගිණුම් වෙත ගලා ගොස් ඇති බවට අනාවරණය වීමත් සමඟ මෙම ජාත්‍යන්තර ආයතනවල සහාය ලබා ගැනීමට රජය පියවර ගෙන තිබේ.
මෙම අතිශය රහසිගත හා සංවිධානාත්මක සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) දැනටමත් මූලික විමර්ශන අරඹා ඇති අතර, ඊට සමගාමීව පැමිණි FBI කණ්ඩායම මෙරට ආරක්ෂක අංශ සමඟ එක්ව ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කිරීමට නියමිතය. රාජ්‍ය මූල්‍ය පද්ධතියේ පවතින සන්නිවේදන දුර්වලතා හෝ දත්ත පද්ධතිවල පවතින අනාරක්ෂිතභාවයන් ප්‍රයෝජනයට ගනිමින් දේශීය හා විදේශීය සයිබර් අපරාධකරුවන් පිරිසක් විසින් මෙම මුදල් වංචාව සිදුකර ඇති බවට සැක කෙරේ. මෙරට රාජ්‍ය ආයතනයක සිදුවූ බරපතලම සහ විශාලතම ඩිජිටල් මූල්‍ය මංකොල්ලයක් ලෙස සැළකෙන මෙම සිදුවීමට සම්බන්ධ මහ මොළකරුවන් සහ එම මුදල් සංසරණය වූ විදේශීය බැංකු ගිණුම් පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට ජාත්‍යන්තර තාක්ෂණික උපදෙස් ද ඇතිව මේ වන විට පුළුල් විමර්ශන ක්‍රියාත්මකය.















