විදේශ රටවලින් ආනයනය කරන ලද භයානක කෘමීන් සහ වෛරස් සහිත නැවුම් කපන ලද මල් තොගයක් මෙරට කෘෂිකර්මාන්තයට හානි වන අයුරින් නිදහස් කර ඇති බවට එල්ල වන චෝදනා කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් තුෂාර වික්‍රමආරච්චි මහතා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරයි. පසුගියදා පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා විසින් මෙරට ආහාර බෝග විනාශ කළ හැකි ‘සුදු මැස්සා’ (Whitefly) නැමැති කෘමියා සහිත සෙවනැලි මල් (ක්‍රිසන්තමම්) තොගයක් නීතිවිරෝධී ලෙස නිදහස් කර ඇති බවට කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සනාථ කළේය.
කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙන්නේ 2026 ජනවාරි 12 වනදා කාඩ්බෝඩ් පෙට්ටි 18 ක අඩංගු මල් තොගයක් මෙරටට ආනයනය කර තිබූ අතර, ඉන් පෙට්ටි 12 ක කිසිදු කෘමි හානියක් හෝ රෝග ලක්ෂණයක් නොතිබූ බැවින් භෞතික පරීක්ෂාවකින් පසු ඒවා නිදහස් කළ බවයි. කෙසේ වෙතත්, සෙවනැලි මල් අඩංගු ඉතිරි පෙට්ටි 6 පිළිබඳව සිදුකළ විද්‍යාගාර පරීක්ෂණවලදී එම වගාවටම ආවේණික සූදු මැස්සාගේ මුල් ජීවන අවධීන් සහ ‘සුදු මලකඩ’ (White Rust) රෝග ලක්ෂණ හඳුනාගෙන තිබේ. විදේශීය වසංගත තත්ත්වයන් මෙරටට ඇතුළුවීම වැළැක්වීම සඳහා එම පෙට්ටි 6 ම විනාශ කිරීමට නිර්දේශ කළ අතර, ඒ අනුව 2026 ජනවාරි 30 වනදා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පිහිටි දහන උදුනක් (Incinerator) භාවිත කරමින් ඒවා සම්පූර්ණයෙන්ම පුළුස්සා විනාශ කළ බව හෙතෙම පැහැදිලි කළේය.
කිසිදු නීතිවිරෝධී හෝ කෘෂිකර්මාන්තයට හානිකර අයුරකින් මෙම මල් තොගය නිදහස් කර නොමැති බව අවධාරණය කරන අධ්‍යක්ෂ ජනරාල්වරයා, මෙවැනි පදනම් විරහිත ප්‍රකාශ මඟින් ශ්‍රී ලංකාවේ ශාක නිරෝධායන ක්‍රමවේදය පිළිබඳව ජාත්‍යන්තර වෙළෙඳ හවුල්කරුවන් තුළ පවතින විශ්වාසය බිඳවැටිය හැකි බව පවසයි. එය ජාත්‍යන්තර මට්ටමින් ශ්‍රී ලංකාවේ ශාක සෞඛ්‍ය ශ්‍රේණිගත කිරීම් පහත වැටීමට හේතු විය හැකි අතර, එමඟින් මෙරට අපනයන වෙළෙඳපොළට දැඩි බලපෑමක් එල්ල වීමේ අවදානමක් පවතින බව ද හෙතෙම තවදුරටත් කියා සිටියි.
















