විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන කැනේඩියානු මහ කොමසාරිස් ඉසබෙල් මාටින් (Isabelle Martin) මහත්මිය අතර විශේෂ හමුවක් කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පවත්වා තිබේ. මෙම නිල හමුවේදී දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳව නායකයන් දෙපළගේ සෘජු අවධානය යොමු විය.
මෙහිදී විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වත්මන්හි මුහුණ දෙමින් සිටින සාර්ව ආර්ථික අභියෝග (Macroeconomic Challenges) මෙන්ම මෑතකදී මෙරටට දැඩි බලපෑමක් එල්ල කළ ‘ඩිට්වා’ සුළි කුණාටුවෙන් පසු උද්ගතව ඇති සමාජ-ආර්ථික වාතාවරණය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ. සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත් ජනතාව නඟාසිටුවීම සහ ආර්ථික ස්ථාවරත්වය ළඟා කරගැනීම වෙනුවෙන් ගතහැකි ඉදිරි පියවර පිළිබඳව ද විපක්ෂ නායකවරයා මෙහිදී කැනේඩියානු මහ කොමසාරිස්වරිය දැනුවත් කළ බව වාර්තා වේ.














