එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැත්වුණු 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය අධ්‍යාපන සමුළුවට (22nd Commonwealth Education Ministers Meeting) සහ 2026 පොදු රාජ්‍ය මණ්ඩලීය විවෘත ඉගෙනුම් ආයතනයේ (COL) පාලක මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා බ්‍රිතාන්‍ය බලා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සිය නිල සංචාරය නිමා කරමින් අද (23) දහවල් දිවයිනට පැමිණියාය. අග්‍රාමාත්‍යවරිය සමඟ මෙම නිල සංචාරයට තිදෙනෙකුගෙන් යුත් දූත පිරිසක් එක්ව සිටියහ.
මෙම ලන්ඩන් සංචාරය අතරතුරදී අග්‍රාමාත්‍යවරිය බ්‍රිතාන්‍ය අධ්‍යාපන ලේකම් බ්‍රිජට් පිලිප්සන් (Bridget Phillipson), විදේශ ලේකම් ඉවෙට් කූපර් (Yvette Cooper) සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම් ජනරාල් ෂර්ලි අයෝර්කර් බොට්ච්වේ (Shirley Ayorkor Botchwey) යන මහත්ම මහත්මීන් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ලැබුවාය. මීට අමතරව ඇය සසෙක්ස් විශ්වවිද්‍යාලයේ (University of Sussex) 60 වැනි සංවත්සර උත්සවය සඳහා ද විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගී වූවාය.
අග්‍රාමාත්‍යවරිය ඇතුළු දූත පිරිස අද (23) දින දහවල් 12:52 ට ලන්ඩන් නුවර සිට ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් UL-504 දරන ගුවන් යානයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා වූ බව වාර්තා වේ.














