හැටන්, දික්ඔය නගරයේ අඹුසැමි යුවළක් අමානුෂික ලෙස ඝාතනය කර ඔවුන් සතු රන් භාණ්ඩ කොල්ලකා පලාගොස් සිටි ප්‍රධාන සැකකරුව අද (23) පස්වරුවේ අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ.
අපරාධය සිදු කිරීමෙන් පසු ප්‍රදේශයෙන් පලාගොස් සිටි මෙම සැකකරු, බගවන්තලාව පොලිස් වසමට අයත් පෙට්‍රසෝ තේ වත්තේ පිහිටි නිවසක සැඟව සිටියදී පොලිස් කණ්ඩායමක් විසින් දියත් කළ විශේෂ මෙහෙයුමකදී මෙලෙස කොටු කරගෙන ඇත. පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මොහු බදුල්ල ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු වන අතර, දික්ඔය ප්‍රදේශයෙන් විවාහයක් ද කරගෙන සිටි අයෙකු බවයි.
ඝාතනයෙන් පසු සැකකරු විසින් ෆේස්බුක් (Facebook) සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ හඳුනාගෙන තිබූ කාන්තාවකගේ බගවන්තලාව ප්‍රදේශයේ පිහිටි නිවසකට පැමිණ මෙලෙස රහසිගතව සැඟව සිට ඇති බව අනාවරණය වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් බගවන්තලාව සහ හැටන් පොලිස් නිලධාරීන් විසින් සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කරන අතර, කොල්ලකන ලද රන් භාණ්ඩ සොයා ගැනීමට ද පුළුල් විමර්ශන ක්‍රියාත්මකය.














