යුක්රේනය වෙත යුරෝපා සංගමයේ (EU) “සහකාර” (Associate) සාමාජිකත්වයක් පිරිනැමීම සඳහා ජර්මනිය ඉදිරිපත් කර ඇති යෝජනාව “අසාධාරණ” එකක් බව යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි (Volodymyr Zelenskiy) පවසයි. යුරෝපා සංගමයේ නායකයන් වෙත ලිපියක් යොමු කරමින් ඔහු පෙන්වා දෙන්නේ එවැනි තත්ත්වයක් තුළ යුරෝපා සංගමය තුළ කියෙව් (Kyiv) පාලනයට කිසිදු ඡන්ද අයිතියක් හෝ හඬක් අහිමි වන බවයි.
රුසියානු ආක්‍රමණය හේතුවෙන් වසර හතරක් තිස්සේ ඇදී යන යුද්ධය නිමා කිරීමේ එකඟතාවකට මඟ පාදනු පිණිස, ජර්මන් චාන්සලර් ෆ්‍රීඩ්රිච් මර්ස් (Friedrich Merz) විසින් මීට පෙර යෝජනා කර තිබුණේ පූර්ණ සාමාජිකත්වය ලබාදීමේ අතුරු පියවරක් ලෙස ඡන්ද අයිතියකින් තොරව යුරෝපා සංගමයේ රැස්වීම් සහ ආයතනික කටයුතුවලට සහභාගී වීමට යුක්රේනයට අවස්ථාව ලබාදිය යුතු බවයි.
ඊට ප්‍රතිචාර දක්වමින් සෙලෙන්ස්කි මහතා සිය ලිපිය මඟින් අවධාරණය කර ඇත්තේ, සමස්ත යුරෝපා සංගමයම රුසියානු ආක්‍රමණයෙන් ආරක්ෂා කරන ප්‍රධාන බලකොටුවක් ලෙස යුක්රේනය ක්‍රියා කරන අතරම, පූර්ණ සාමාජිකත්වය සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ කඩිනමින් සිදු කරමින් පවතින බවයි.
“අපි යුරෝපය ආරක්ෂා කරන්නේ සම්පූර්ණයෙන්මයි, අර්ධ වශයෙන් හෝ අඩ පියවරවලින් නොවෙයි,” යැයි පවසන 48 හැවිරිදි යුක්රේන නායකයා, රුසියාව විසින් යුරෝපීය එකමුතුව විනාශ කිරීමට සහ මහාද්වීපය අස්ථාවර කිරීමට උත්සාහ කරන බවටද චෝදනා කරයි. එබැවින් යුක්රේනය යුරෝපා සංගමය තුළ සිටියද, කිසිදු හඬක් නොමැතිව අක්‍රීයව තැබීම කිසිසේත්ම සාධාරණ නොවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම ලිපිය යුරෝපීය කවුන්සිලයේ සභාපති ඇන්ටෝනියෝ කොස්තා, යුරෝපීය කොමිසමේ සභාපතිනි උර්සුලා වොන් ඩර් ලේයන් සහ යුරෝපා සංගමයේ වාරික සභාපතිත්වය දරන සයිප්‍රස් ජනාධිපති නිකොස් ක්‍රිස්ටෝඩොලයිඩස් වෙත යොමු කර ඇත.














