අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස වසර පතා පැවැත්වෙන “ජාතික පිච්ච මල් පූජෝත්සවය” මෙවර ද උත්කර්ෂවත්ව පැවැත්වීමට අදාළ මූලික සාකච්ඡාව ඊයේ (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබේ.
මෙවර පැවැත්වෙන්නේ 36 වැනි ජාතික පිච්ච මල් පූජෝත්සවය වන අතර, එය එළඹෙන ජුනි මස 25 සහ 26 යන දෙදින තුළ ජනාධිපති ලේකම් කාර්යාලයේ සෘජු මැදිහත්වීම මත සියලු රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල දායකත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතූ සූදානම් කර ඇත.
මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ ප්‍රධාන කරුණු මෙසේය:
රාජ්‍ය අනුග්‍රහය සහ මහා සංඝරත්නයේ ප්‍රශංසාව:
මෙවර පිච්චමල් පූජා පුණ්‍ය මහෝත්සවය රාජ්‍ය අනුග්‍රහය ඇතිව ඉතා උසස් අන්දමින් පැවැත්වීමට පියවර ගැනීම වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු වත්මන් රජයට සිය ප්‍රශංසාව හිමිවන බව ශාන්ති පදනමේ සභාපති, නැගෙනහිර තමන්කඩු දෙපළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොටපොල අමරකිත්ති නායක හිමිපාණන් වහන්සේ මෙහිදී ප්‍රකාශ කළහ.
බැතිමතුන් සඳහා පහසුකම් සැලසීම:
පිච්ච මල් පූජෝත්සවය සඳහා දිවයිනේ නන්දෙසින් අනුරාධපුර පූජා භූමිය වෙත පැමිණීමට නියමිත ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් වෙනුවෙන් අවශ්‍ය සනීපාරක්ෂක, ප්‍රවාහන, පානීය ජල සහ ආරක්ෂක ඇතුළු යටිතල පහසුකම් විධිමත්ව සැපයීම පිළිබඳව ද මෙහිදී රාජ්‍ය නිලධාරීන්ගේ සහ ආරක්ෂක අංශවල විශේෂ අවධානය යොමු විය.
මෙම අවස්ථාවට ශාන්ති පදනමේ පැවිදි සංවිධායක පූජ්‍ය හල්මිල්ලෑවේ සද්ධාතිස්ස නාහිමි ඇතුළු මහා සංඝරත්නය ද, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා ඇතුළු රාජ්‍ය ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ආරක්ෂක අංශ ප්‍රධානීන් සහ ශාන්ති පදනමේ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.
















