දිවයින පුරා පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ඉදිරි පැය 24ක කාලය තුළ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක පහත් බිම් සේම මාර්ග පද්ධති සුළු ගංවතුර තත්ත්වයකින් යටවීමේ දැඩි අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිල වශයෙන් නිවේදනය කරයි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශය පෙන්වා දෙන්නේ කළු ගඟ ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට අඛණ්ඩව ඇද හැලෙන තද වැසි හේතුවෙන් ගංගාවේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවයි.
මේ අනුව ඉදිරි පැය 24 තුළ කළු ගඟ ආශ්‍රිතව පිහිටි ඉංගිරිය, හොරණ, දොඩන්ගොඩ, මිල්ලනිය, කළුතර, බුලත්සිංහල, මදුරාවල සහ පාලින්දනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත් බිම් ප්‍රදේශවල මෙලෙස සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකිය.
පවතින තත්ත්වය හමුවේ අදාළ ප්‍රදේශවල ගංගා දෙපස සහ පහත් බිම්වල ජීවත්වන ජනතාව මෙන්ම එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා වාහන රියදුරන් ද දැඩි විමසිලිමත් බවින් පසුවිය යුතු බව ආපදා කළමනාකරණ අංශ අවධාරණය කරයි. අවශ්‍ය වුවහොත් ආරක්ෂිත ස්ථාන කරා තාවකාලිකව සංක්‍රමණය වීමට සූදානමින් සිටින ලෙස ද දන්වා ඇත. එමෙන්ම පවතින ගංවතුර සහ නායයෑම් අවදානම් තත්ත්වයන් පිළිබඳව සොයා බැලීමට ත්‍රිවිධ හමුදාව සහ සහන කණ්ඩායම් මේ වන විටත් කළුතර දිස්ත්‍රික්කය පුරා සීරුවෙන් තබා තිබේ.














