චීනය විසින් 2030 වසර වන විට සඳ මතට මිනිසුන් රැගෙන යාමේ සිය දැවැන්ත අභ්‍යවකාශ සිහිනය සාක්ෂාත් කර ගැනීමේ තීරණාත්මක පියවරක් ලෙස, තම අභ්‍යවකාශ ඉතිහාසයේ ප්‍රථම වතාවට වසරක (01) කාලයක් අභ්‍යවකාශයේ රැඳී සිටීම සඳහා තිදෙනෙකුගෙන් යුත් අභ්‍යවකාශගාමීන් කණ්ඩායමක් ඊයේ (24) රාත්‍රියේ සාර්ථකව ගුවන්ගත කර තිබේ. දීර්ඝ කාලීනව අභ්‍යවකාශයේ රැඳී සිටීමේදී මිනිස් සිරුරේ සිදුවන කායික විද්‍යාත්මක වෙනස්කම් පිළිබඳව පුළුල් ලෙස අධ්‍යයනය කිරීම මෙම මෙහෙයුමේ මූලික අරමුණ වේ.
චීනයේ වයඹදිග ජියුක්වාන් (Jiuquan) චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් ඊයේ රාත්‍රී 11:08ට ‘ලෝන්ග් මාර්ච්-2F Y23’ (Long March-2F Y23) රොකට්ටුව ආධාරයෙන් මෙම ‘ෂෙන්ෂෝ-23’ (Shenzhou-23) යානය චීන අභ්‍යවකාශගාමීන් තිදෙනෙකු සමඟින් ගුවන්ගත කෙරුණි. මෙම කණ්ඩායමේ විශේෂත්වයක් ලෙස හොංකොං හි හිටපු පොලිස් පරීක්ෂකවරියක වන ‘ලී ජියායින්ග්’ (Li Jiaying) ඇතුළත් වී ඇති අතර, ඇය චීන අභ්‍යවකාශ මෙහෙයුමකට එක්වූ පළමු හොංකොං පුරවැසියා ලෙස ඉතිහාසයට එක්වේ. සෙසු සාමාජිකයන් වන්නේ අණදෙන නිලධාරී ෂු යැන්ග්ෂු (Zhu Yangzhu) සහ ගුවන් නියමු ෂැන්ග් යුවාන්ජි (Zhang Yuanzhi) යන මහත්වරුන්ය.
මෙම තිදෙනාගෙන් එක් අයෙකු චීනයේ ‘ටියැන්ගොන්ග්’ (Tiangong) අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ වසරක කාලයක් රැඳී සිටීමට නියමිතය. මෙහෙයුමේ ප්‍රගතිය අනුව වසරක් රැඳී සිටින්නේ කවුරුන්ද යන්න පසුව තීරණය කරන බව චීන මිනිසුන් සහිත අභ්‍යවකාශ ඒජන්සිය (CMSA) ප්‍රකාශ කළේය. මෙය ලෝක ඉතිහාසයේ දීර්ඝතම අභ්‍යවකාශ මෙහෙයුම්වලින් එකක් වුවද, 1995 වසරේදී රුසියානු අභ්‍යවකාශගාමියෙකු මාස $14\frac{1}{2}$ක කාලයක් රැඳී සිටිමින් තබා ඇති ලෝක වාර්තාව බිඳ දැමීමට මෙය සමත් නොවේ.














