මෑතකදී මෙරටට බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් දැඩි ලෙස ආපදාවට පත් වූ ආගමික ස්ථාන කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම වෙනුවෙන් දියත් කර ඇති “ගොඩනගමු – අධිෂ්ඨානයේ සංහිඳ” සුවිශේෂී ජාතික වැඩසටහන යටතේ, බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි ඓතිහාසික හාලිඇල බෝගොඩ විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු ඊයේ (24) නිල වශයෙන් ආරම්භ කෙරුණි.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සෘජු මඟපෙන්වීම යටතේ, මධ්‍යම සංස්කෘතික අරමුදලේ (CCF) පූර්ණ මූල්‍ය හා තාක්ෂණික දායකත්වයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. ස්වභාවික විපත් නිසා විනාශයට පත් වූ ජනතාවගේ ආධ්‍යාත්මික කේන්ද්‍රස්ථාන යථාතත්ත්වයට පත් කිරීම වෙනුවෙන් රජය විසින් රුපියල් මිලියන 80ක (රු. 80,000,000) මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇත.
මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ පැවැත්වුණු මෙම නිල උත්සවය සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතා, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා, ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර මහතා සහ තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිදු සමන් හෙන්නායක මහතා ඇතුළු දේශපාලන අධිකාරිය එක්ව සිටියහ.
මීට අමතරව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් කුරේ, බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම, හාලිඇල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත වරුෂමාන යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසී දායක සභාවේ සැදැහැවත් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.














