පසුගිය 2023 ඔක්තෝබර් මාසයේදී ආරම්භ වූ ඊශ්‍රායල – ගාසා යුද්ධයෙන් පසුව ඕස්ට්‍රේලියාව තුළ හිස ඔසවන ලද යුදෙව් විරෝධී (Antisemitism) ප්‍රවණතාවන් පාලනයකින් තොරව වර්ධනය වීමට ඉඩ හැරීම, එරට යුදෙව් ප්‍රජාවට එරෙහිව දරුණු ප්‍රචණ්ඩත්වයක් මුදා හැරීමට වක්‍රව මඟ පාදා ඇති බව ඕස්ට්‍රේලියානු ඔත්තුසේවා ප්‍රධානියා (Spy Chief) සඳහන් කරයි. පසුගිය දෙසැම්බර් මාසයේදී සිදුවූ ලේ වැකි ‘බොන්ඩායි වෙරළ’ (Bondi Beach) සමූහ වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳව සොයා බැලීමට පත්කළ විශේෂ රාජකීය විමර්ශන කොමිසම (Royal Commission) හමුවේ අද (25) සාක්ෂි දෙමින් ඔහු මේ බව අනාවරණය කළේය.
පසුගිය වසරේ (2025) දෙසැම්බර් මාසයේදී බොන්ඩායි වෙරළ තීරයේ පැවැත්වුණු යුදෙව්වන්ගේ සාම්ප්‍රදායික ‘හනුක්කා’ (Hanukkah) ආගමික සැමරුම් උත්සවයක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ බිහිසුණු වෙඩි තැබීමකින් පුද්ගලයන් 15 දෙනෙකු ඝාතනයට ලක්විය. අද දින පැවැත්වුණු ප්‍රසිද්ධ කොමිෂන් සභා විභාගයේදී එම ප්‍රහාරයට තුඩුදුන් පසුබිම පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරුණි.
එහිදී ඕස්ට්‍රේලියානු ආරක්ෂක ඔත්තුසේවා සංවිධානයේ (ASIO) අධ්‍යක්ෂ ජනරාල් මයික් බර්ගස් (Mike Burgess) මහතා පෙන්වා දුන්නේ, රට තුළ යුදෙව් විරෝධී සිදුවීම් අසාමාන්‍ය ලෙස ඉහළ යාම හේතුවෙන් 2024 අගෝස්තු මාසයේදීම ඕස්ට්‍රේලියාවේ ජාතික ත්‍රස්තවාදී තර්ජන මට්ටම ‘සම්භාවිත’ (Probable) මට්ටම දක්වා ඉහළ නැංවීමට තම ආයතනය පියවර ගෙන තිබූ බවයි. මැදපෙරදිග පවතින දරුණු යුදමය තත්ත්වය හේතුවෙන් ඕස්ට්‍රේලියාව තුළ වෙසෙන විවිධ ජනකොටස් අතර දැඩි ආවේගශීලී තත්ත්වයක් නිර්මාණය වූ බවත්, එහිදී සමාජය තුළ වර්ධනය වූ යුදෙව් විරෝධී සහ ප්‍රචණ්ඩකාරී හැසිරීම් නිසි ලෙස මර්දනය කිරීමට බලධාරීන් අපොහොසත් වීම නිසා, එය සමාජය තුළ සාමාන්‍යකරණය වී අවසානයේ ඕස්ට්‍රේලියානු යුදෙව් ප්‍රජාව මෙලෙස දරුණු ත්‍රස්ත ප්‍රහාරයක ගොදුරක් බවට පත්වූ බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.














