ශ්‍රී ලංකාවේ සාගර සංරක්ෂණය සහ පර්යේෂණ ක්ෂේත්‍රයේ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් Oceanswell ආයතනය විසින් සංවිධානය කරන ලද “Into the Oceans Depths: Whales and the Deep Ocean” දෙදින විශේෂ සාගර විද්‍යා සමුළුව පසුගියදා කොළඹ 07 පිහිටි ශ්‍රී ලංකා ශල්‍ය වෛද්‍යවරුන්ගේ විද්‍යායතන ශ්‍රවණාගාරයේදී (College of Surgeons of Sri Lanka Auditorium) අතිසාර්ථක අන්දමින් නිමාවට පත් විය. සාගර ලෝලීන්, පර්යේෂකයන් සහ සංරක්ෂණ ක්‍රියාකාරීන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු මෙම සමුළුවේ අවසන් දිනය ගැඹුරු මුහුදේ වෙසෙන තල්මසුන් ඇතුළු සාගර ජීවීන්ගේ ආරක්ෂාව සහ පර්යේෂණ දත්ත පිළිබඳව අතිශය ආකර්ෂණීය සාකච්ඡාවන් රැසකට මඟ පාදනු ලැබීය.
මෙම සමුළුවේ දෙවන දිනය ආරම්භ කරමින් විශේෂ දේශනයක් පැවැත්වූ සීෂෙල්ස් රාජ්‍යයේ සුප්‍රකට ගැඹුරු සාගර විද්‍යාඥවරියක වන ශීනා ටැල්මා (Sheena Talma) මහත්මිය, තමන් සීෂෙල්ස් හි කඳුකර ගෙම්බන් පිළිබඳ අධ්‍යයනයෙන් ආරම්භ කළ ජීවන ගමන ලෝකයේ මෙතෙක් අඩුවෙන්ම ගවේෂණය කර ඇති ගැඹුරු මුහුදු පරිසර පද්ධතිය දක්වා විහිදී ගිය ආකාරය “From Mountain Tops to the Deep Sea” තේමාව යටතේ විස්තර කළාය. එහිදී ඇය ගැඹුරු මුහුද ගවේෂණය සඳහා භාවිත කරන “Deep Ocean Research and Imaging System” වැනි අතිනවීන තාක්ෂණික ක්‍රමවේදයන් හඳුන්වා දීම සහ මෙම ක්ෂේත්‍රය තුළ තරුණ පර්යේෂකයන්ට වැඩි අවස්ථා නිර්මාණය කිරීමේ වැදගත්කම පිළිබඳව සිය අත්දැකීම් බෙදාගත්තාය.
සමුළුවේ වඩාත්ම අවධානයට ලක්වූ අවසන් දේශනය පවත්වනු ලැබුවේ ශ්‍රී ලංකාවෙන් බිහිවූ ලෝක ප්‍රකට සාගර ජීව විද්‍යාඥවරියක වන ආචාර්ය ආශා ද වොස් (Dr Asha de Vos) මහත්මිය විසිනි. ඇය “The Secret Lives of Sri Lanka’s Giants” යන තේමාව ඔස්සේ ශ්‍රී ලංකා මුහුදු තීරයේ වෙසෙන නිල් තල්මසුන් (Blue whales) සහ ස්පර්ම් තල්මසුන්ගේ (Sperm whale acoustics) සන්නිවේදන රටාවන් මෙන්ම ඔවුන්ගේ රහසිගත ජීවන තොරතුරු පිළිබඳව තමන් සිදුකළ විප්ලවීය බුද්ධිමය අනාවරණයන් ඉදිරිපත් කළාය. ශ්‍රී ලංකාවේ සාගර ජීවීන් ගෝලීය වශයෙන් කෙතරම් වටින්නේද යන්න සහ අනාගත පරපුර උදෙසා ඔවුන් ආරක්ෂා කරගැනීමේ ඇති දැඩි අවශ්‍යතාවය ඇය මෙහිදී අවධාරණය කළාය. Save Our Seas Foundation (SOSF) සහ Aitken Spence Travels ආයතනයන්හි අනුග්‍රහය සහ සහයෝගීතාවයෙන් පැවැත්වුණු මෙම සමුළුව පුරා සිසුන් සහ තරුණ සාගර ක්‍රියාකාරීන් අතර අතිශය ප්‍රබල සන්නිවේදනයක් සහ දැනුම හුවමාරුවක් සිදු වූ බව සංවිධායකයෝ පවසති.
මුලාශ්‍ර – Oceanswell Official














