ශ්‍රී ලංකා රග්බි ‘3වන කාණ්ඩයේ’ ජාතික සංචිතයට අලුතින් තේරී පත් වූ තරුණ ක්‍රීඩකයන් වෙනුවෙන් දීමනා පිරිනැමීම සහ ඔවුන් “මිෂන් ඔලිම්පික්” (Mission Olympic) වැඩසටහනට ඇතුළත් කර ගැනීම අද (26) ක්‍රීඩා අමාත්‍යාංශයේදී සිදු කෙරුණි. මලල ක්‍රීඩාවෙන් ඔබ්බට ගොස් කණ්ඩායම් ක්‍රීඩාවක් මෙම ඉහළම ශිෂ්‍යත්ව වැඩසටහනට ඇතුළත් කරගත් ප්‍රථම අවස්ථාව මෙය වේ.
ඒ අනුව ජාතික සංචිතයේ ක්‍රීඩකයන් 21 දෙනෙකු සඳහා මාසිකව රුපියල් 135,000 බැගින් වන විශේෂ දීමනාවක් හිමි වේ. මීට අමතරව, Casa 7 රග්බි ශූරතාවය දිනූ කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 16 දෙනෙකු වෙනුවෙන් එක් වරක් පමණක් පිරිනමන රුපියල් 180,000 බැගින් වූ දිරි දීමනා ද මෙහිදී ප්‍රදානය කෙරිණි.
ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා මෙහිදී ප්‍රකාශ කළේ තමන් ධූරය භාරගන්නා විට පැවති පරිපාලන අර්බුද සහ නඩු සියල්ල විසඳා, නව ව්‍යවස්ථාවක් යටතේ නිලවරණයක් පැවැත්වූ නිසා අද වන විට ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම ආසියාවේ තෙවන ස්ථානය (3rd in Asia) දක්වා ඉදිරියට පැමිණ ඇති බවයි. ක්‍රීඩකයන්ගේ වෘත්තීය සුරක්ෂිතතාව වෙනුවෙන් ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රජයේ රැකියා අවස්ථා ලබාදීමේ විශේෂ ක්‍රමවේදයකට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.














