නව දූෂණ විරෝධී පනතට අනුව ස්ථාපිත කර ඇති මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය (Online System) හරහා වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන්, විවිධ බාහිර පාර්ශ්වයන් විසින් සිදු කරනු ලබන නිවැරදි නොවන සහ ව්‍යාජ දැනුවත් කිරීම් පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මහජනතාවට අනතුරු අඟවයි.
කොමිසම පෙන්වා දෙන්නේ වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු පුද්ගලයන් ඉලෙක්ට්‍රොනික පද්ධතියට ප්‍රවේශ වන ආකාරය සහ තොරතුරු ඇතුළත් කරන ආකාරය පිළිබඳව, කොමිෂන් සභාවේ නිලධාරීන් නොවන බාහිර පුද්ගලයන් පිරිසක් වැරදි ක්‍රමවේදයන් සහ සන්නිවේදනයන් සිදු කරමින් සිටින බවයි. එබැවින් එවැනි බාහිර පුද්ගලයන් ලබාදෙන නිවැරදි නොවන තොරතුරු හෝ උපදෙස් සම්බන්ධයෙන් කොමිෂන් සභාව කිසිදු වගකීමක් දරනු නොලබන බව සිහිපත් කර සිටී.
මෙම වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ පද්ධතියට තොරතුරු ඇතුළත් කිරීම සම්බන්ධව මතුවන ඕනෑම ගැටලුවක් කොමිෂන් සභාවේ වත්කම් බැරකම් ප්‍රකාශ අංශයේ 0767011954 සහ 0112587284 යන නිල දුරකථන අංක මඟින් පමණක් නිරාකරණය කර ගන්නා ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.














