කොවිඩ් වසංගතයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුද හේතුවෙන් මෙරට විශ්වවිද්‍යාල උපාධි අපේක්ෂිත සිසුන් අතර විශාදය (Depression), කාංසාව (Anxiety) සහ දැඩි මානසික ආතතිය ඉහළ ගොස් ඇති බව ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් සිදුකළ නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ. වෛද්‍ය, ඉංජිනේරු සහ මානව ශාස්ත්‍ර ඇතුළු සියලුම පීඨවල සිසුන් මේ හේතුවෙන් දැඩි පීඩාවකට ලක්ව ඇති බව එහිදී හඳුනාගෙන ඇත.
ජීවන වියදම, නවාතැන් සහ අධ්‍යාපන පිරිවැය ඉහළ යාම මෙන්ම අනාගත රැකියා සහ වෘත්තීය ස්ථාවරත්වය පිළිබඳ පවතින අවිනිශ්චිතභාවය මීට ප්‍රධාන හේතු වී තිබේ. එසේම, පවුලේ අය තමන් කෙරෙහි තබා ඇති අධික බලාපොරොත්තු, අධික විෂය නිර්දේශ, අඛණ්ඩ ඇගයීම් සහ GPA අගය පවත්වා ගැනීමට ඇති දැඩි තරඟකාරීත්වය නිසා දක්ෂ සිසුන් පවා මානසිකව පීඩාවට පත්ව සිටිති.
මීට අමතරව, සමහර විශ්වවිද්‍යාල තුළ පවතින ශිෂ්‍ය බලපෑම් (නවක වදය වැනි තත්ත්වයන්) හේතුවෙන් විශේෂයෙන්ම පළමු වසරේ සිසුන් දැඩි මානසික කම්පනයකට සහ සමාජයෙන් වෙන්වීමේ තත්ත්වයකට මුහුණ දෙන බව සමීක්ෂණයේදී හෙළි වී ඇත. විශ්වවිද්‍යාල තුළ වෛද්‍ය මධ්‍යස්ථාන සහ ශිෂ්‍ය උපදේශන සේවා ක්‍රියාත්මක වුවද, සිසුන් ඒවා පරිශීලනය කරන්නේ ඉතා අවම මට්ටමකින් බව ද වෛද්‍යවරු පවසති.













