පාර්ලිමේන්තුව විසින් අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සකස් කර සම්මත කර දෙන්නේ නම්, ඕනෑම අවස්ථාවක කල් දමා ඇති පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමට තමන් සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට දැනුම් දී තිබේ.
පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු ක්‍රමය සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව, එහි සභාපති අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් වූ අවස්ථාවේදී කොමිසම මේ බව කියා සිටියේය. මෙම රැස්වීමේදී මැතිවරණය පැවැත්වීමට ඇති නීතිමය බාධාවන් සහ ඒවා ඉවත් කරගන්නා ආකාරය පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ද කාරක සභාවට දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කරනු ලැබීය.
මෙම අවස්ථාවට කාරක සභා සාමාජිකයන් වන නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අරුන් හේමචන්ද්‍ර, නීතිඥ සුනිල් වටගල, මුනීර් මුලාෆර් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනෝ ගනේෂන්, ෂානක්කියන් රාසමාණික්කම්, සමන්මලී ගුණසිංහ ඇතුළු මහත්ම මහත්මීහු පිරිසක් සහභාගී වූහ.













